Header Ads

කිරි හෝ කිරි සහිත ආහාර දිනපතා ඔබ ආහාරයට ගන්නවානම් මෙන්න මේ විශ්මිත ප්‍රතිඵල ඔබට ලැබෙනවා.


කිරි හෝ කිරි සහිත ආහාර දිනපතා ඔබ ආහාරයට ගන්නවානම් මෙන්න මේ විශ්මිත ප්‍රතිඵල ඔබට ලැබෙනවා.
කිරි, සියලුම වයස් කාණ්ඩවලට අයත් වූවන් සඳහා සුදුසු වූ, කාබෝහයිඩ්‍රේට (ලැක්ටෝස්) මේද, ප්‍රෝටීන, විටමින් හා ඛනිජ ලවණ අඩංගු සම්පූර්ණ ආහාරයකි. මාස 6ට අඩු දරුවන් සඳහා මව්කිරි අනිවාර්ය අතර, අනෙකුත් කිරි හා කිරි නිෂ්පාදන මෙම වයස් කාණ්ඩය සඳහා සුදුසු නොවේ.

ළමුන් හා යෞවන අවධියේ පසුවන අය සඳහා කිරි හා කිරි නිෂ්පාදන පරිභෝජනයට ගැනීම වැදගත් අතර, ඔවුන්ගේ දත් හා අස්ථි වර්ධනය සඳහා මෙය අත්‍යවශ්‍ය වේ. මෙම අවධියේ සිදුවන සීඝ්‍ර වර්ධනය උදෙසා අත්‍යවශ්‍ය පෝෂක වන කැල්සියම් හා පොස්පරස් කිරිවල බහුල අතර, පැණි බීම වෙනුවට කිරි බීම සඳහා යොමුවීම ඉතා වැදගත් වේ.

කිරිවල අඩංගු පෝෂක විටමින්

කිරිවල සැලකිය යුතු ප්‍රමාණයක් විටමින් බී සංකීර්ණයට අයත් විටමින් අඩංගු වේ. විශේෂයෙන් කිරිවල අඩංගු බී 12 විටමිනය ස්නායු පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වයට මෙන්ම රතු රුධිරාණු නිෂ්පාදනයට ද වැදගත් වේ. සම්පූර්ණ යොදය සහිත කිරි, විටමින් ඒ වලින් පොහොසත් අතර, මේද රහිත හෝ අඩු මේද කිරිවල විටමින් ඒ අන්තර්ගතය ඉතා අල්පය.

මේද රහිත හෝ අඩු මේද කිරිවල මේදයේ දියවන විටමින් අන්තර්ගතය, ඉතා අඩු වුවත් නැවත එකතු කිරීම හෝ බලකරණය තුළින් මෙම විටමින් නැවත ආහාරයට එකතු කළ හැකිය.

ඛනිජ ලවණ

කැල්සියම් හා පොස්පරස් බහුල ආහාරයක් වන කිරි, අස්ථි සහ දත් වර්ධනයට වැදගත් වේ. කිරිවල අඩංගු කැල්සියම් ශරීරයට පහසුවෙන් අවශෝෂණය වේ. එමෙන්ම සම්පූර්ණ යොදය සහිත කිරිවල අන්තර්ගතය කැල්සියම් ප්‍රමාණය හා මේද රහිත කිරිවල අන්තර්ගත කැල්සියම් ප්‍රමාණය එක සමානය.

ජීවිතයේ පසු කාලයේදී වැළඳිය හැකි ඔස්ටියෝපොරෝසිස් නැමැති අස්ථි තුනී වීමේ රෝගය වළක්වා ගැනීම සඳහා දිනපතා කිරි හෝ කිරි ආහාර පරිභෝජනයට ගැනීම යෝග්‍යය.

මේදය

දිනකට අවශ්‍ය ශක්ති ප්‍රමාණයෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ලබාදීම සඳහා කිරිවල අඩංගු මේදය දායක වෙයි. සම්පූර්ණ යොදය සහිත කිරිවල සංතෘප්ත මේදය බහුලය. එහෙත් මේද රහිත කිරිවල මේදය සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර, අඩු මේද සහිත කිරිවල මේදය හරි අඩකටත් වඩා අඩුවෙන් අඩංගු වේ. මේද රහිත කිරි වැඩිහිටියන්ට, අධි බරැති දරුවන්ට හා රුධිරවාහිණී අවහිරතා රෝග ඇති අයට වඩා යෝග්‍ය වේ.

එයට හේතුව වන්නේ කිරිවල ඇති මේදය රුධිරවාහිණීවල තැන්පත් වීමයි. මේදය අඩු කිරිවල අඩංගු ශක්ති ප්‍රමාණය, අත්‍යවශ්‍ය මේද අම්ල හා මේදයේ දියවන විටමින් වර්ග අඩු බැවින් කිරිපිටි නිර්දේශ කරන අවස්ථාවලදී, අවුරුදු දෙකට අඩු දරුවන් සඳහා මේද රහිත කිරි භාවිතය සුදුසු නොවේ.

සීනි

කිරිවල අඩංගු සීනි “ලැක්ටෝස්” ලෙස නම් කරයි. කිරිවල අඩංගු ලැක්ටෝස් එදිනෙදා භාවිතයට ගැනෙන සුදු හා දුඹුරු සීනි මෙන් දත් දිරායාම කෙරෙහි එතරම් බලපෑමක් ඇති නොකරයි.

ඔස්ටියෝපොරෝසිස්

දීර්ඝ කාලයක සිට අස්ථි තුනී වීම සහ අස්ථි ඝනත්වය අඩු වීම නිසා අස්ථි බිඳී යාමේ තත්ත්වය ඔස්ටියෝපොරෝසිස් නමින් හඳුන්වයි. කුඩා කල සිට කිරි හා කිරි ආහාර දිනපතා ආහාරයට එකතු කර ගැනීම මඟින් මෙම තත්ත්වය වළක්වා ගැනීමට හැකිය.

ලැක්ටෝස් ආසාත්මිකතාවය

කිරි විශාල ප්‍රමාණයක් (කිරි මිලිලීටර් 500 හෝ ඊට වැඩි ප්‍රමාණයක්) එකවර පානය කිරීම නිසා පාචනය, බඩ පිපුම වැනි උදරයේ අසාත්මිකතාවයන් සමහර පුද්ගලයින්ට ඇතිවිය හැක. මෙය ලැක්ටෝස් ආසාත්මිකතාවය ලෙස හඳුන්වයි. එවැනි පුද්ගලයින්, කිරි භාවිතයේදී එය ස්වල්ප ප්‍රමාණයක් (වීදුරු 1/4) බැගින් මුලින් ගෙන ප්‍රමාණය ක්‍රම ක්‍රමයෙන් වැඩිකළ යුතුය. මුදවපු කිරි හා යෝගට්වල අඩංගු ලැක්ටෝස් පැසවීමේදී ලැක්ටික් අම්ලය බවට පත් වේ.

එම නිසා ලැක්ටෝස් අසාත්මිකතාව ඇති අයට මෙවැනි ආහාර වඩා සුදුසුය. ආහාර වේලකින් පසු කිරි ස්වල්ප ප්‍රමාණයක් පානය කිරීම හෝ යෝගට් හෝ මුදවපු කිරි ආහාරයට ගැනීම මඟින් මෙම තත්ත්වය පාලනය කරගත හැක. තවද කිරිවල අඩංගු ප්‍රෝටීන සඳහා ආසාත්මිකතාව දක්වන අයට සෝයා කිරි යෝග්‍ය වේ.

අප විසින් දිනකට පරිභෝජනය කළ යුතු කිරි ප්‍රමාණය

නැවුම් කිරි පීරිසි කෝප්ප / වීදුරු 1ක් (මිලි ලීටර් 200)

මුදවපු කිරි පීරිසි කෝප්ප 1ක් (මිලි ලීටර් 100) හෝ යෝගට් 1ක්

පිටි කිරි මේස හැඳි 2ක් යොදා සාදන ලද කිරි වීදුරු 1ක්

ඉහත සඳහන් කිරි හෝ කිරි ආහාරවලින් 1ක් හෝ 2ක් දිනපතා ගැනීම ඕනෑම අයෙකුට සුදුසු වේ. එහෙත් ළමුන්, යොවුන් වියේ පසු වන්නන්, ගර්භණී හා කිරි දෙන මව්වරුන්ගේ කැල්සියම් අවශ්‍යතාවය ඉහළ බැවින්, කිරි හෝ කිරි ආහාර දෙකක් දිනපතා ගැනීම සුදුසු වේ.

කිරි ආහාර

මුදවපු කිරි

මුදවපු කිරි හා යෝගට් ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා කරන කිරි ආහාර වේ. යෝගට් හා මුදවපු කිරි නිෂ්පාදනයේදී කිරි පැසවීමකට ලක් කරයි. එමඟින් එහි විටමින් බී සංයුතිය ඉහළ යයි. මුදවපු කිරි හා යෝගට්වල ඇති ඉහළ ප්‍රෝටීන් සංයුතිය, එහි ඇති කැල්සියම් ශරීරයට අවශෝෂණය කිරීම කාර්යක්ෂම කරයි. මී කිරි මේදයෙන් ඉහළය. එබැවින් එළිකරිවලින් සාදන ලද මුදවපු කිරිවලට වඩා මී කිරිවලින් සාදන ලද මුදවපු කිරි හොඳින් ඝන වේ.

යෝගට්

යෝගට් නිෂ්පාදනයට යොදා ගන්නා බැක්ටීරියාවන් මිනිසාට සෞඛ්‍යමය හිතකර ප්‍රතිලාභ ලබා දෙයි. සමහර යෝගට් වර්ග නිෂ්පාදනයේදී හිතකර බැක්ටීරියා (ප්‍රෝබයෝටික්ස්) වර්ග එකතු කරයි. එය ආහාර ජීර්ණ පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වයට උදව් කරයි.

චීස්

චීස්, කිරි මෙන්ම පෝෂණ ගුණයෙන් අනූන ආහාරයකි. එහෙත් චීස්වල සංතෘප්ත මේදය සහ එකතු කරන ලද ලුණු ඉහළ මට්ටමක පවතී. එම නිසා සම්පූර්ණ යොදය අඩංගු චීස් ආහාරයට ගැනීමේදී සැලකිලිමත් වන්න.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශනයක් ඇසුරෙනි


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි






No comments:

Powered by Blogger.