Header Ads

බුදු මැදුරට දෙවියන් වැඩම වන්නේ මෙහෙමයි ජෝතිෂයේ සැගවුණු විශ්මිත මෙ රහස දන්නේ කවුද?


බුදු මැදුරට දෙවියන් වැඩම වන්නේ මෙහෙමයි ජෝතිෂයේ සැගවුණු විශ්මිත මෙ රහස දන්නේ කවුද?

බුදුරජාණන් වහන්සේට විහාරාරාම ගණනාවක්‌ම පූජා වශයෙන් ලැබී තිබුණු බව අමුතුවෙන් කිව යුතු නොවේ. ඡේතවනාරාමය, පූර්වාරාමය, නීග්‍රෝධාරාමය, වේළුවනාරාමය ඉන් කිහිපයක්‌ පමණි. ඡේතවනාරාමය ඉදිකරන ලද භූමිය මිලට ගෙන ඇත්තේ එය වැසෙන තරම් රන් කාසි අතුරා බවත්, පූර්වාරාමය වෙනුවෙන් විශාඛාව සතුව තිබූ මේල පළඳනාව අලෙවි කළ බවත් මේවාට කෝටි හතළිහකටත් වඩා වැය වූ බවත් කියනු ලැබේ.

ඒ බුදුන් වහන්සේට උරුමව තිබූ මහා පුණ්‍ය ශක්‌තිය නිසා ලැබූ භාග්‍යය නොහොත් වාසනාවයි. උන්වහන්සේ මේ අරාම පරිහරණය කළේ මිනිසුන් ඇතුළු සත්ත්වයා දුකින් මුදා ගැනීමට ක්‍රියා කිරීම පිණිසය. වර්ෂ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයකට පෙර සුමේධ තාපසතුමා ලෙස ඉපදුනු අවස්‌ථාවේම උන්වහන්සේට නිවන් අවබෝධ කර සියලු දුකින් මිදෙන්නට ඉඩ තිබුණි. එහෙත් තමන් පමණක්‌ දුකින් මිදීම ප්‍රතික්‍ෂේප කළ උන්වහන්සේ ඒ වෙනුවට බුදුබව පැතුවේ ඔබත් මමත් දුකින් මිදවීම පිණිස යෑයි සිතා ගැනීම යුක්‌ති සහගත ය. අනෙක්‌ අතට රම්‍ය, සුරම්‍ය, ශුභ නම් විවිධ කාලගුණයන්ට ඔරොත්තු දෙන රමණීය මාළිගා, යහපත් බිරිඳත් සමඟරජ සැප විඳින්නට ඉඩ තිබූ උන්වහන්සේ ඒවා අත්හලේ ඔබ අප වැන්නන්ගේ දුක නිවා දමනු පිණිස ක්‍රියා කරන්නටය.

උන්වහන්සේ අනුශාසනා කළේ මිනිසුන්ට පමණක්‌ නොවේ. රාත්‍රියේ එක යාමයක්‌ම දෙවියන් වෙනුවෙන් ද, කාලය වෙන් කළේ දෙවියන්ගේ ප්‍රශ්න විසඳීම පිණිසය. එබැවින් උන්වහන්සේ "සත්තා දේව මනුස්‌සානං" යන ගුණයෙන් හඳුන්වනු ලැබේ. එයින් කියන්නේ දෙවියන් හා මිනිසුන්ට ශාස්‌තෘවරයාණන් වන බවය. මේ අනුව උන්වහන්සේ මංගල සූත්‍රය දේශනා කරන්නේ දෙවියන්ටය. පරාභව සුත්‍රය දේශනා කරන්නේ ද දෙවියන්ටය. දෙවියන් යනු කවරහුදැයි බුද්ධ දේශනාවේ සඳහන් ය. ඒ අනුව දිව්‍ය ලෝක හයකි. මේ දිව්‍ය ලෝකවල නායකත්වය දරන්නේ සක්‌ දෙවියන් ය. ශක්‍ර දෙවියන් වශයෙන් හඳුන්වන එතුමෝ අන් දෙවිවරුන්ට නායකත්වය දෙනු ලබති.

දෙවියන් වශයෙන් දෙව් ලොව උපදින්නේ පින් කළ අයම වෙති. ශක්‍ර දෙවියන්ට පහළින් සිටින සතරවරම් දෙවිවරු සසුන රකිති. යක්‍ෂයන්ගේ කුම්භාණ්‌ඩයන්ගේ කරදරයන් වෙතොත් අනුගමනය කළ යුතු පිළිවෙළ ආටානාටිය සුත්‍රයේ දක්‌වා තිබෙන්නේ ද ඉහත සතරවරම් දෙවියන්ගෙම ඉල්ලීම පරිදිය. බුදුරජාණන් වහන්සේ විසින් ධර්ම දේශනා කරන විට ඒවා අසන්නට දෙවියන් ද පැමිණි බව සූත්‍රවල සඳහන් වේ.

"මහා සමය" සූත්‍රය දේශනා කරන අවස්‌ථාවේ පැමිණි දෙවියන් හා බඹුන් නම් වශයෙන් දක්‌වා ඇත. මෙම දෙවියන් ද බඹුන් ද ශ්‍රද්ධාවෙන් උවසු උවැසියන් මෙන්ම බුදුරජාණන් වහන්සේට නමස්‌කාර කරමින් ධර්මය ශ්‍රවණය කළහ.

බුදු හිමියන් වැඩ සිටි

ඡේතවනාරාමයේ හෝ වෙනත් ආරාමයක දෙවියන් වෙනුවෙන් වෙනම කුටියක්‌ සාදා තිබූ බවක්‌ සඳහන් වන්නේ නැත. බුදුහිමියන් වැඩ සිටි අවධියේ බුද්ධ ප්‍රතිමා තිබුණේ ද නැත. බුද්ධ ප්‍රතිමා නිර්මාණය වූයේ ඊට බොහෝ කලකට පසුවය. ශ්‍රද්ධාවත් බෞද්ධයෝ බුදුහිමියන් පිරිනිවන් පෑ පසුව උන්වහන්සේ පිළිබඳව අසා තිබූ දෙතිස්‌ මහා පුරුෂ ලක්‍ෂණ ආදියට අනුරූපව ප්‍රතිමා නිර්මාණය කළහ. බුදු මැඳුර ඉදිවන්නේ ද මේ අනුවය.

බුදුහිමි ලොව පහළවීමට පෙර සිටම එකල තිබූ දේව ආදී ආගම් අනුව දේව ඇදහිලි, දේව ස්‌ත්‍රොaත්‍ර ගායනා තිබුණි. පසු කලෙක බෞද්ධ රජවරුන් විසින් ද්‍රවිඩ (හින්දු) බිසෝවරුන් විවාහ කරගන්නා ලදී. විහාරාරාම භූමිවල දේව ප්‍රතිමා ඉදිවන්නේ මේ හේතුවෙනි. කිසිදු පංසලක ශක්‍ර දෙවියන්, ධෘතරාෂ්ඨ, විරූඪ, විරූක්‍ෂ, වෛශ්‍රවන ආදී බල සම්පන්න දෙවිවරුන්ගේ රූප දක්‌නට නොලැබේ. එහෙත් ගණදෙවි, සරස්‌වතී, ආදී හින්දු දේවරූප සාදා ඇති බව පෙනේ. ඊට හේතුව මේ හින්දු ආගමික බිසෝවරුන්ගේ ඇදහිලිවලට ද ඉඩ සැලසීමය.

බුදුහිමියන් දෙවියන් ප්‍රතික්‍ෂේප කර නැත. දෙවියන්ගේ පිහිට ලැබෙන ආකාරය ද දේශනා කර ඇත. මහා පරිනිබ්බාන සුත්‍රයට අනුව 'සිල්වගත් බ්‍රහ්මචාරීන් වළඳවා භූමියට අධිගෘහිත දෙවියන්ට පින්දිය යුතුය' එසේ කරන අයට දෙවියන්ගේ රැකවරණය ලැබේ. සියලු දෙවියන් ද මිනිසුන් ද කාම ලෝකවලට අයත් ය. එබැවින් ඒ දෙවියෝ ද මිනිසුන් ද බුදුහිsමියන්ට වන්දනාමාන කළහ. කිසිදු දෙවි කෙනෙකු බුදුහිමියන් තරම් වාසනාවන්ත නැත. එතරම් ප්‍රඥාවන්ත ද නැත. එතරම් නිර්භීත ද නැත. එතරම් රූප සම්පන්නද නැත. එතරම් කරුණාවන්ත ද නැත. එතරම් මානව දයාව ද නැත. ශක්‍ර දෙවියන් වූ දිව්‍ය ලෝකයේ රජු ගැන ධජග්ග සූත්‍රයේ බුදුහිමියන් මෙසේ වදාළ සේක.

"සක්‌ දෙව් රජ පහ නොවූ රාග ඇත්තේය. පහ නොවූ ද්වේශ ඇත්තේය. පහ නොවූ මෝහ ඇත්තේය.බිය වන සුලුය. තැති ගන්නා සුළුය. පලා යන සුලුය."

"මහණෙනි මම ඔබට මෙසේ කියමි. ආරාමයකට, රුක්‌ මූලයකට, ශූන්‍යාගාරයකට ගියා වූ ඔබට බියක්‌ හෝ තැති ගැන්මක්‌ හෝ ලොමු දැහැගැන්මක්‌ හෝ උපදනේ නම්, එකල්හි ඒ භාග්‍යවත් තෙමෝ අර්හත්ය. සම්මාන සම්බුද්ධය, විඡ්ජාචරන සම්මපන්නය. සුගතය, ලෝකවිදූය. අනුත්තර පුරුසධම්ම සාරථිය, දෙව් මිනිසුන්ට ශාස්‌තෘය බුද්ධය. භාග්‍යවත් ය යෑයි මා සිහිකරන්න. මා සිහිකරන ඔබට බිය හෝ තැතිගැන්ම හෝ ලොමු දැහැගැනීම වන්නේ නම් එය පහවන්නේය."

(ධජග්ග සූත්‍රය)

ඉහත සඳහන් කළේ බුදුන් කවුද? දෙවියන් කවුද? යන්න පිළිබඳව ඉතා කෙටි විස්‌තරයකි. එහෙත් වත්මන් සමාජය දෙස බලන විට පෙනී යන්නේ වෙනම කරුණකි.

දෙවියන් බුදු හිමියන් හා සම සමව ක්‍රියා කළ බවක්‌ හෝ එසේ සිතූ බව වත් සඳහන් වන්නේ නැත. එසේ වුවද මිනිසුන්ගේ එදිනෙදා අවශ්‍යතා, ආශාවන් දඩමීමා කර ගනිමින් දෙවියන්ට ද නිගා දෙන අන්දමින් දේව සංකල්පය අලෙවිකරන, මාකට්‌ කරන කාලයක්‌ උදා වෙමින් පවතී.

මේ අනුව බුදු මැඳුරුවල දෙවියන්ගේ ප්‍රතිමා තැන්පත් කිරීමත්, නිවෙස්‌වල බුද්ධ පූජාව මෙන්ම දේව රූප ද තබා වන්දනා කරන බවත්, විභාගවලින් සමත් වීමට ශිෂ්‍යයන් විsසින් දෙවියන් යදින බවත් දක්‌නට ලැබේ. දේව ඇදහිලි, භාරහාරවීම්, දේව පූජා තැබීම ජනතාවට වඩාත් සමීප වීමට ජ්‍යොaතිර්වේදීන් ද හේතු වූ බව රහසක්‌ නොවේ. විවිධ ප්‍රශ්නවලදී දෙවියන්ට භාරවීම චිරාගත සම්ප්‍රදායකි. එහෙත් මේ රට විසූ කීර්තිමත් ජ්‍යොතිර්වේදියකු වූද ශිෂ්‍යයන් සිය ගණනක්‌ ජාතියට දායාද කළා වූද. ග්‍රන්ථ රාශියක්‌ රචනා කළා වූද, බණ්‌ඩාරවෙල ඇස්‌. ඩබ්. කස්‌තුරිරත්න ශූරීන් 21 වන සියවස ගැන 1970 දශකයේ ලියා ඇති අනාවැකිවල මෙසේ ලියා ඇත.

"බුද්ධ ප්‍රතිමා විහාරවලින් අන්තර්ධාන වී දේව ප්‍රතිමා බවට පෙරළයි. නගරවල මංසන්ධිවල පදික වේදිකාවල ලොකු ගස්‌ යට බුද්ධ ප්‍රතිමා බැඳීමට පටන් ගනී. බුද්ධ පූජාව දේව පූජා වට්‌ටියට යට වී යයි. ගෞරවයත්, ශ්‍රද්ධාවත් වැඩිවන්නේ දේව පූජාවලටය."

(ගෝචරඵල)

අද උදා වී ඇත්තේ මෙවැනි තත්ත්වයකි. නිවෙස්‌වල හා සමහර ආයතනවල ඇති බුද්ධ ප්‍රතිමා මකුළු දැල් හා ධූලිවලින් වැසී ඇත. එහෙත් ගණදෙවි ප්‍රතිමා මේසය මත තබා වන්දනා මානකරති. ස්‌ත්‍රොaත්‍ර මුද්‍රණය කර බිත්තියේ අලවා ඇත. පාසල්වල ගුරුවර ගුරුවරියෝ ම ගණදෙවි පූජාවට ශිෂ්‍යයන්ගෙන් මුදල් එකතු කරති. එහෙත් බුද්ධ පූජාවට හෝ බෝධි පූජාවට නොවේ. කතරගම යන ව්‍යාපාරිකයෝ විශාල පලතුරු වට්‌ටිවල ලොකු මුදල් නෝට්‌ටු තබාගෙන කෙළින්ම යන්නේ දේවාලයට ය. කිරිවෙහෙර, බෝධිය. වන්දනා කරන්නේ නැත. එහෙත් දෙවියන්ට දිය යුත්තේ පින් බවත්, මුදල් අවශ්‍ය වන්නේ මිනිසුන්ට බවත් මොවුන්ට මතක නැත.

දෙවි පිහිට බලාපොරොත්තු වන්නේ නම් මුලින්ම කළ යුතු වන්නේ පින්කමක්‌ කර ඒ පින් දෙවියන්ට අනුමෝදන් කිරීමය. සිල්වත්ව සැබෑ මානව දයාවෙන් යුතුව අන් අයගේ යහපතට වැඩ කරන අය අමුතුවෙන් කන්නලව් කළත් නැතත් දේව බැල්මට ලක්‌ වන්නේය. කතරගම යන අය ද මුලින්ම කළ යුත්තේ කිරිවෙහෙර පූජාව හා බෝධි පූජාව තබා කතරගම දෙවියන් ඇතුළු දෙවියන්ට පින් අනුමෝදන් කිරීම වේ.

බුද්ධ මන්දිරයට දෙවියන් වැඩමවීම පිළිබඳ ගැටලුව කෙරෙහි ජනමාධ්‍යවලින් ඇති කරන බලපෑම ද සුළුකොට තැකිය නොහැකිය. මෙම මාධ්‍ය භාවිතය සිsදුවන්නේ බොහෝ විට ව්‍යාපාරික ජ්‍යොaතිර්වේදීන් හා පූජා භාණ්‌ඩ වෙළෙන්දන් අතිනි. ඔවුන්ගේ ඉලක්‌කය හැකි ඉක්‌මනින් විශාල මුදලක්‌ උපයා ගැනීමයි. දෙවියන් හෝ බුදු හිමියන් ගැන ඔවුන්ගේ දැනීම අල්ප වුවද මුදල් උපයා ගැනීම සඳහා දේව රූප සමඟයමක්‌ අලෙවි කිරීම ඔවුන් අතින් සිදු වේ. ලක්‍ෂ්මී දෙවඟන යනු ශ්‍රී විෂ්ණු දෙවියන්ගේ භාර්යාවයි. එතුමිය ධනය ලබා දෙන බවට විශ්වාසයක්‌ පවතී. සියලු දෙනාටම ධනය අවශ්‍ය වේ. මේ ආශාව දඩමීමා කරගන්නා ව්‍යාපාරිකයෝ ලක්‍ෂ්මී රූපය අලෙවි කරති.

සුවඳ ධූප, හඳුන්කූරු, නිධන්වස්‌තු ආදියේ ඇසුරුම් පෙට්‌ටිවලින් නොනැවතී බස්‌ රථ වල ද විශාල ලක්‍ෂ්මී රූප සවි කෙරෙන්නේ මේ අනුවය. මිනිසුන්ගේ පොදු ගැටලුවලින් කිහිපයක්‌ වන්නේ ධන තෘෂ්ණාව, සතුරන් පරාජය කිරීම හා දරුවන්ට ඉගැන්වීම බව පෙනේ. මේ අනුවම ධනය උදෙසා ලක්‍ෂ්මීත්, සතුරන්ට භද්‍රකාලීත් දරුවන්ගේ ඉගෙනීමට ගණදෙවියනුත් විවිධ රූප, පිළිම වලට නඟා අලෙවි කරනු ලැබේ. එයින් නොනැවතී පැරැණි පොත්වල ඇති ස්‌ත්‍රොaත්‍ර ද මුද්‍රණය කරන බව පෙනේ.

මෙය හරිහැටි වටහා නොගන්නා අය බුදු හිමියන්ගේ රූපය වටේට මේ දෙවිවරුන්ගේ රූප තැන්පත් කරති. සමහර බස්‌ රථවල හා ලොරිවල මේ සියලු රූප සමාන ප්‍රමාණවලින් සවිකර තිබේ. මෑතකදී වඩාත් ජනප්‍රිය වෙමින් පවතින්නේ ගණදෙවි වන්දනාවය. දෛනික ප්‍රශ්න විස¹ ගැනීමට දෙවියන් වදින අහිංසකයෝ බුදුහිමියෝ ගැන නොසලකා දෙවියන් කෙරෙහි වැඩි නැඹුරුවක්‌ ඇති වීමත් සමගම බුදු මැඳුර දේව රූපවලින් පිරී යයි.

ඉතා පහසුවෙන් මුදල් සෙවීමට කල්පනාකරන අය ද සුළුපටු නොවේ. මේ අයගේ බුදු මැඳුරට ඉක්‌මනින්ම පැමිණෙන්නේ ලාµsං බුද්ධා නම් රූපයයි. මේ රූපය ද මල් පහන් වලින් පුදන අය සුළුපටු නොවේ. ඒ අයගේ කෙසේ වෙතත් දේව රූප නිෂ්පාදනය කරන මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ඒවා අලෙවි කරන අය නම් දිනෙන් දින ධනවතුන් වන බව පුදුමයක්‌ නොවේ.

එකම දෙවිකෙනෙකු ගැන පමණක්‌ විශ්වාස කරන, වෙනත් දෙවිවරුන්ට වන්දනා නොකරන ආගම් අදහන අය මේ උගුල්වල පැටලෙන්නේ නැත. එහෙත් දෙවියන් ඇතැයි විශ්වාස කරන, හරියට බුද්ධාගමවත් නොදන්නා අහිංසක බෞද්ධ යෑයි කියන අය මේවාට රැවටෙන්නේ රංචු පිටිනි.

ජ්‍යොතිෂය හා සම්බන්ධ වාස්‌තු ශාස්‌ත්‍රයේදී දේව රූප ඉදිකිරීමට නිර්දේශ කර ඇත්තේ "ඒක මත්තං ඨ§නා ඛො සා දේවතා" යන පාඨය අනුවය. එනම් බුද්ධ රූපයට හරි ඉදිරියෙනුත්. පිටුපසින් නැතිව පැත්තකිනි. බුදු හිමියන් අසලදී 1දෙවියන් මෙන්ම සැදැහැවතුන් මිනිසුන් ද සිටියේ එකත්පස්‌වය.

මෙකල ජ්‍යොතිෂවේදීන්, යන්ත්‍ර මන්ත්‍ර කරන අය මෙන්ම විවිධ ගුප්ත විද්‍යාවල යෙදෙන අයගෙන් වැරදි දේ කරන්නේ කවරෙක්‌ ද නිවැරැදි කවරෙක්‌ ද යන ගැටලුව විස¹ ගැනීමට නොහැකි වන තරමට වංචනිකයන් මෙම ක්‍ෂේත්‍රයට පමණක්‌ නොව, සෑම වෘත්තිකයන් අතරම දක්‌නට ලැබේ. එහි ප්‍රතිඵලයක්‌ ලෙස සැබෑ ධර්මය හා ශාස්‌තෘන්වහන්සේ අමතක කරන මිථ්‍යාදෘෂ්ඨ§කයින් පිරිස්‌ බිහිවෙමින් සිටිති. මේ පිළිබඳව බුද්ධිමත් ජනතාව විමසිලිමත් වීම මැනවි.

සත්‍යය හා මිථ්‍යාව හඳුනාගැනීමට දුෂ්කරය.

ඇස්‌ ඇත්තෝ දකිත්වා

ඔබේ අදහස්‌ අගය කරමු.

ජ්‍යොතිෂවේදී කෑගල්ලේ
සුනිල් කුමාර ගම්ලත්



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



 

No comments:

Powered by Blogger.