Header Ads

ඉන්නන් ගැන ඔබ නොදන්නා රහස් මෙන්න.


ඉන්නන් ගැන  ඔබ නොදන්නා රහස් මෙන්න.
 



ඉන්නන් කියන්නේ බොහෝ දෙනාට තිබෙන ලොකු ප්‍රශ්නයක්. මුනේ නැත්නම් බෙල්ලේ මතු වෙන පොඩි ඉන්නෙක් නිසා ඔබේ හිතේ ඇති වන කනස්සල්ල පොඩි නැහැ.

අපි ඉන්නන් ලෙස හඳුනා ගන්නේ සමේ සහ ශ්ලේෂ්මල පටල වල ඇති වන ආසාදන තත්ත්වයක්. පාසල් යන දරුවන් තමා ගොඩක් මේ තත්ත්වයට ගොදුරු වෙන්නේ. නමුත් ඉන්නන්ට වයස බේදයක් නැහැ.

ඉන්නෝ හැදෙන්නේ ඇයි?

ශරීරයේ ප්‍රතිශක්තිය අඩු වීම තමයි ඉන්නන් ඇති වෙන්නට හේතුව. බොහෝ ඉන්නන් ඇති කරන්නේ වෛරස මගින්. අපේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වුනාම ඔවුන්ට ලේසියෙන්ම අපිව ලෙඩ කරන්නට පුළුවන්.



ඔබට ඉන්නන් හඳුනා ගන්නට පුලුවන්ද?
මතුපිටින් පෙනෙන්නට තියන මේ ඉන්නන් විවිධ ආකාර ගන්නවා. බහුලවම තිබෙන්නේ රළු මතුපිටක් සහිත ප්‍රමාණයෙන් කුඩා ප්‍රමාණයේ ගැටිත්තක් ලෙසිනුයි. සාමාන්‍යයෙන් මුලින් සමේ පාටටම තිබුනත් පහු වෙද්දී මෙය අඳුරු පැහැයක් ගන්නවා.
අතේ, යටි පතුල් වල, මුහුණේ වගේම මුඛය හා ලිංගික ප්‍රදේශ වලත් ඉන්නන් ඇති වෙන්නට පුළුවන්.

මේ එක එක තැන වල ඇති වන ඉන්නන් විවිධ ආකාරයි.

අතේ සහ යටි පතුල් වල රළු ගැටිති ආකාරයටත්, මුහුණේ කුරුලෑ වලට සමාන ආකාරයකිනුත්, කටේ තොල් වල නැත්නම් ලිංගික ප්‍රදේශ වල ඇති වන ඉන්නන් සිනිඳු තෙත සහිත ගැටිති ලෙසිනුත් ඇති වෙනවා.

ඉන්නන් කිහිපයක් එකට එකතු වෙලා ප්‍රමාණයෙන් විශාල ඉන්නන් ඇති වෙන අවස්ථාත් තිබෙනවා.

බොහෝ දුරට මේවා වේදනාවක් ඇති කරන්නේ නැහැ.

නමුත් ලිංගික ප්‍රදේශ වල ඇති වන ඉන්නන් වේදනාවක් හෝ අපහසුවක් ඇති කරන එක සාමාන්‍ය තත්වයක්.



ඉන්නන් ඇල්ලීමෙන් බෝ වෙනවාද?
ඔව්. මේවා ඇති කරන වෛරසය ඔබේ අත්ලේ ගෑවීලා තවත් ඔබේ ශරීරයේම තැනක ගෑවීමෙන් හෝ වෙන කෙනෙකුගේ ඇඟේ ගෑවීමෙන් ඉන්නන් බෝ වෙන්නට පුළුවන්.

ශරීරයේ අනෙක් ප්‍රදේශ වලට වඩා ලිංගික ප්‍රදේශයේ ඇති වන ඉන්නන් ගැන ඔබ අවදානය යොමු කල යුතු වනවා.
මොකද ලිංගික ඉන්නන් කියන්නේ පිළිකා තත්ත්වයක් කරා වර්ධනය විය හැකි තත්ත්වයක්.
ලිංගික ඉන්නන් බෝ වන්නේ ලිංගික ඇසුරකින්. ඒ වගේම මෙවැනි තත්වයක් ගැන ඔබට සැකයක් ඇති වුනොත් වහාම වෛද්‍ය වරයෙකු හමු වෙලා ප්‍රතිකාර ගැනීම වැදගත්. බය වෙන්න එපා මේවා සම්පුර්ණයෙන් සුව කරන්නට පුළුවන්.

සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙකුගේ නම් ඉන්නන් කාලයත් එක්කම ඉබේම සනීප වෙනවා.

නමුත් ශරීරයේ ප්‍රතිශක්තිය දුර්වල නම් දිගු කාලයක් ඔබට සුව වීමක් නොලැබේවි.
ඇත්තටම ඉබේම සනීප වෙන නිසා මේ සඳහා ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වන්නේ නැහැ. නමුත් ඒ මගින් ඔබේ පෙනුමට හානියක් වනවා නම් හෝ එය ඔබට මානසිකව කරදරයක් නම් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගන්න.



ඉන්නන් ඉවත් කිරීමේ ක්‍රම වේද

ඉන්නන් ඉවත් කිරීමේ ක්‍රම වේද බොහොමයක් තිබෙනවා.
ඉතාම ප්‍රසිද්ධ ක්‍රමය තමයි ඉන්නන් පිළිස්සීමේ ක්‍රමය.

අධික සිසිල් කරන ලද නයිට්‍රජන් මගින් තමා මෙය සිදු කරන්නේ. වෛද්‍ය වරයෙක් හමු වෙලා චර්ම රෝග සායනයකදී මෙය සිදු කරගන්නට ඔබට පුළුවන්.

මුහුණේ ඇති වන කුඩා ඉන්නන් සඳහා සුදුසු වන ආලේපන වර්ග පවා වෛද්‍ය වරු නිර්දේශ කරනවා. ඒවා වෛද්‍ය උපදෙස් අනුව පාවිච්චි කිරීමෙන් මේ කරදරකාර ඉන්නන්ගෙන් සදහටම ගැලවෙන්නට ඔබට පුළුවන්.

අපේ රටේ එතරම් ප්‍රසිද්ධ නැති වුණත් ලේසර් ක්‍රමයකින් ඉන්නන් ඉවත් කරන අවස්ථාත් තිබෙනවා.

වැදගත්ම කරුණ වන්නේ ගොඩක් දෙනා ඉන්නන් පුලුස්සනවාය කිව්වම බය වෙනවා. ඒ අය හිතුමතේට නුල් වර්ග භාවිතය වගේ ගොඩ වෙදකම් වලින් ඉන්නන් ගලවා දමන්නට උත්සාහ කරනවා.

මතක තබා ගන්න මේ දේවල් කරනවාට වඩා හොඳයි ඉන්නන් ඉවත් නොකර සිටීම. මොකද මේ මගින් අධික ලේ වහනය, විෂබීජ ශරීර ගත වීම, විවිධ භයානක ආසාදන තත්ත්ව ඇති වීම. මෙවැනි තත්ත්ව දුර්ලබ නැහැ.

මේ නිසා කොහෙත්ම ඉන්නන් සඳහා ගොඩ වෙදකම් කරන්නට යන්න එපා. එයින් ඔබ කරගන්නේ ඇති කරදරය නැති කරගන්නවා වෙනුවට තව නැති කරදර රාශියක් ඇති කරගැනීමයි.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි





No comments:

Powered by Blogger.