Header Ads

ඔබ විශ්වාස කළත් නැතත් වාස්තු දෝෂ ඇති ගෙයක් හැදුවොත් විනාශයි මෙන්න එයට හේතුව.


ඔබ විශ්වාස කළත් නැතත් වාස්තු දෝෂ ඇති ගෙයක් හැදුවොත් විනාශයි මෙන්න එයට හේතුව.




“නිවස” යනු ජීවිතය ඉදිරියට ගෙන යන සුවිසල් නවාතැනකි. මෙලොව ජීවිතය සාර්ථකව ගතකිරීමට එය අත්‍යවශ්‍යම දෙයකි. මෙයට අමතරව මහ මඟ කඩපිල, අම්බලම මේවායේ ජීවත්වන කොටසක් ද සිටීති. එම මනුෂ්‍ය කොට්ඨාසවලට එලොවක් නැත. මෙලොවක් නැත.


අඹුසැමි බේද, රැකියා ගැටලු, ලෙඩ දුක් ආදියෙන් ජීවිතය පවා විනාශ කරගන්නා අය කොතෙකුත් සිටී. එම නිවාසවලට සිරිකත වඩිනවාද? නැත. එසේ නම් වඩින්නේ මූ දේවි යන අමිහිරි වචනයෙන් කියවෙන අය නේද? එයට හේතු ඇත. කිසිම වාස්තු සැලැස්මක් නැතිව ඒවා බහුභූත වශයෙන් සලකා අතේ මිටේ මුදල් තියන පුරාජේරුවට නිවාස හදන අයට මූ දේවිය ළංවන බව කිව යුතුය. මුදල් පසුම්බිය හිස්වන විට අය මාර්ග අවහිර වන විට, බැංකු චෙක්පත් ආපසු එන විට මේ ආදී ගැටලුවලට මුහුණ දෙන විට භාර්යාව, දරුවන්, හිතවතුන් යක්ෂයින් මෙන් පෙනෙන අවස්ථා උදාවෙන මොහොතේදී වාස්තු ගැටලු මතක් වේ. නමුත් ඒ වන විට මූදේවිය සියලුදෙනා ගිලගෙන හමාරයි.

නියමාකාරව පැරණි වාස්තු නීතීන්වලට එකඟව සැදූ නිවසක ඉදිරිපස ඇතුළු අවට පරිසරය ගැන ද සොයා බැලිය යුතුය. ඉදිරිපස ප්‍රධාන දොරට එක එල්ලේ විශාල ගස් කොළන් වවා අඳුරු තත්ත්වයෙන් නොතැබිය යුතුය. නිවස ඇතුළට ආලෝකය පැතිර යාමට ඉඩ දිය යුතුය. බොහෝ නිවාසවල දවසේ පැය 24 න් දවල් කාලයේ වැඩි කොටසක් දොර ජනෙල් වසා තබා ඇත. මෙය අසුබදායකය. ප්‍රධාන දොරට එක එල්ලේ ඉදිරිපස රෙදි වැල් ඇදීම ඉතා අසුබදායකය. නිවසේ ආදායම් මාර්ග වැසී යනු ඇත. ධනය හීන වේ. සිරිකත බැල්ම නැති වේ. ආපසු හැරේ. හැකි තරම් මේවා නිවැරදි කර ගත යුතුය.

කල් ගතවූ කෑම වර්ග, ප්ලාස්ටික් ටින්, ඉටිරෙදි මුළුතැන්ගෙයි අස්කරන අපද්‍රව්‍ය ‍මේ කිසිවක් මිදුලේ තැන් තැන්වල ගොඩගැසීම අසුබයි. බලු බළල් ආදී සතුන් මිදුලේ ජරා කිරීමට ඉඩ නොදිය යුතුය. එසේම නිවස ඉදිරිපස මුත්‍රා කිරීම, බුලත්විට කෙළ සෙම් සොටු දැමීම අසුබයි. භූත දෝෂ මළ යක්ෂ ප්‍රේත දෝෂ හට ගනී. ඒ නිසා පිරිසිදුකම ප්‍රධාන වේ.

නිවස ඇතුළත ශබ්ද නඟා ඈනුම් ඇරීම, හූ කියමින් විනෝද වීම, අසභ්‍ය විරුද්ධ වචන ප්‍රකාශ කිරීම, හිමිදිරි උදයේ කෑ ගසමින් නිවස තුළ ආරවුල් කර ගැනීම, බත් පිඟාන අතේ තබාගෙන ඇවිදිමින් කෑම අනුභව කිරීම, පාවහන් සහිතව නිවසේ ගමන් කිරීම, රූපවාහිනී - රේඩියෝ අධික ශබ්දයෙන් දැමීම, දුර්ගන්ධය හමමින් ඇඳුම් නොසෝදා ඇඳීම, තමන් අඳින ඇඳුම විලි වැසෙන ආකාරයට සමාජය පිළිගන්නා සම්මත ක්‍රමයට සකස් කර නොගැනීම මේ ආදී සියලු දේ නිවැරදිව ශිෂ්ටසම්පන්න පවුලක් වශයෙන් එම අශෝභන ක්‍රියාවලින් වෙන් වී ජීවත්වන නිවසට සිරිකත වඩී.
නිවස ඇතුළත සිත් ඇදගන්නා පරිදි සකස් වීම අනිවාර්ය වේ. විශේෂයෙන් සපත්තු, සෙරෙප්පු ආදී ප්‍රධාන දොර ඉදිරිපිට නොදමා, නිවසේ සැම තැන නොදමා ඒ සඳහා ස්ථානයක් ආවරණයක් සාදා තබාගන්න. කිළිටි වූ අශුද්ධ වූ ඇඳුම් නිවසේ පුටු උඩ තැන් තැන්වල නොදමා එක් ස්ථානයකට රැස්කර ගන්න. වාස්තු විද්‍යානුකූලව සෑදූ නාන කාමරයට මේවා ගන්න. නිවසේ මැද බ්‍රහ්ම පාදයට මෙය නොගත යුතුය. අල්මාරි, කබඩ් ආදී විවෘත කිරී‍මේදී බටහිරට එල්ල නොවන සේ ප්‍රධාන දොරට අසු නොවන ආකාරයට සකස් කර තබන්න.

නිවසේ අවි ආයුධ, කැති, උදළු, පොරොව ආදී තැන තැන ‍නොදමා නිවසේ නිරිත පැත්තේ කාමරයක් සාදා තබාගන්න. කෑම කාමරය නිවසේ බ්‍රහ්ම පාදයට නොගෙන බටහිරට ගන්න. කෑම මේසය නිවසේ බ්‍රහ්ම පාදයේ තැබීම ඉතා අසුබ වේ. බ්‍රහ්ම පාදයේ කෑම මේසයට මස් මාළු ගෙන ඒමෙන් දෝෂ තත්ත්වය ගෙන එයි. අධ්‍යාපන කටයුතුවල යෙදෙන දරුවන් උදෙසා උතුරු පැත්තේ හෝ ඊසානට කාමරයක් සකස් කර ගන්න.
ආගමික කටයුතු සඳහා නිවසේ බ්‍රහ්ම පාදය ආශ්‍රිතව ස්ථානයක් සකස් කර ගන්න. බුදුන්ට පහන් දැල්වීමට නිදන කාමර සුදුසු නැත. නිවසේ මැදට ළංවෙන්ට උතුර බලා පහන තැබීමට ස්ථානය සාදා ගන්න. දෙවියන් උදෙසා නිවස ඇතුළේ පහන් දැල්වීමෙන් කරදර සිදුවේ. ‍ඒ සඳහා නිවසට උතුරු පැත්තේ දේව පාදයට පහන් පැල සාදා ගන්න.
නිවසේ ඇතුළත හා අවට මිදුල දිනපතා උදේට අතුගෑම කළ යුතුය. අතුගා එකතුවන කුණුරොඩු වළකට එකතු කරන්න. කොස්ස හා ඉදල නිවසේ බිත්තිවලට හේත්තු නොකර ගබඩා කාමරයක් තිබේ නම් එහි තබන්න. නිරිත පැත්තට ගබඩා කාමරයක් යොදා ගන්න.

නි‍ෙවසක ඇතුළේ සාලයේ ද, නිදන කාමරවල ද, මුළුතැන්ගෙය ද, කෑම කාමරය ද, ආගමික ස්ථානය බ්‍රහ්ම පාදය මෙම කොටස්වල සුනඛයාට හා පූසාට සැරිසැරීමට ඉඩ නොදිය යුතුය. ඒ සඳහා වෙනම ස්ථානයක බලු කූඩුව සාදා තැබිය යුතුය. මෙය නිරිතට ගන්න.

මයිනා, ගිරවා, දඬුලේනා මේ ආදී සතුන් කූඩු කර නිවසේ ඇතිකිරීම නොකළ යුතුය. කුකුළන් ඇතිකරන්නේ නම් නිරිත දෙසින් කූඩුව සාදාගන්න. ගව මඩුව ද ඒ දෙසට සුදුසු වේ. ‍

මීළඟට සාරධර්මවලට ගරු කරන යහපත් දූ පුතුන් ඇති පවුලක් වශයෙන් නිවසේ ජීවත්විය යුතුය. ඒ සඳහා දෙමාපියන්ගේත්, දරුවන්ගේත් යහපත් බෞද්ධ හෝ ඕනෑම ආගමික සාරධර්මවලට ගරු කළ යුතුය. විශේෂයෙන් දෙමාපියන් ඉදිරියේ දරුවන් හැසිරෙන ආකාරය, දරුවන් ඉදිරියේ දෙමාපියන් හැසිරෙන ආකාරය දෙකම විශිෂ්ට සම්මත සාරධර්මවලට පටහැනි නොවිය යුතුය. දෙමාපියන් සුරාමතින් බේබදුකමින් නිවසේ දඟලයි නම් දරුවන්ට සිතෙන්නේ කුමක්ද? මව පියා දැනගත යුතුය. අම්මා, ආච්චි, සීයා, තාත්තා යන ආදරවන්ත හැඟුම්බර වචන දරුවාට හුරුකරන්න. නමුත් එම සාරධර්ම කතාබහ ආදී අද වත්මන් සමාජ ක්‍රමයෙන් ඈත්වී යන බව බොහෝ අවස්ථාවල පෙනේ. සමාජ ක්‍රමය ඉදිරියේදී කුමක් වේවිද? පිළිතුර ඔබෙන්.
කෙසේ නමුත් මා මෙතෙක් දැක්වූ සිරිකත වඩින නිවසක් වීමට එම කරුණුවලට මෙම සමාජීය සාරධර්ම ද අත්‍යවශ්‍ය බව පෙන්වා දෙමි.



අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments:

Powered by Blogger.