Header Ads

හදවත් සැත්කම



හදවත් සැත්කම

හෘද රෝගයක් සුව වීමට ප‍්‍රතිකාර පමණක් ප‍්‍රමාණවත් නොවේ. හෘද පුනරුත්ථාපනයට යොමු වීම ද අවශ්‍ය ය. එයින් නැවත හෘදයාබාධ ඇති වීම සියයට තිහකින් ද අඩු කර ගත හැකි ය.හෘද පුනරුත්ථාපනයේ වටිනාකම අවබෝධ කර ගැනීමට මේ ගැන මඳක් විමසමු.සරත් අවුරුදු 55 ව්‍යාපාරිකයෙකි. හදිසියේ හෘදයාබාධයක් හටගෙන රෝගී බවට පත් වේ. රෝහල් ගත වී සුවය ලබා පැමිණෙන ඔහු සුපුරුදු පරිදි ව්‍යාපාර කටයුතුවල ද නිරත වේ.වෙළෙඳසලේ සහයකයා නොසිටි අවස්ථාවක කිසියම් භාණ්ඩයක් ගැනීමට මහ පඩි පෙළ නඟියි. එම අවස්ථාවේ දී ඔහුට මහන්සියක් හා හතිය දැනෙයි. වහා වෛද්‍යවරයා වෙත යන ඔහු තමාට ඇති වූ මේ තත්ත්වය වෛද්‍යවරයාට දැනුම් දෙයි. වෛද්‍යවරයා ඔහු හොඳින් පරීක්‍ෂා කර බලයි. “ඔබට කිසිම අමාරුවක් නැහැ. අසනීප තත්ත්වයක් නැහැ. දීලා තිබෙන බෙහෙත් දිගටම ගන්න” උපදෙස් ලැබෙයි.චන්දන පෞද්ගලික අංශයේ විධායක නිලධාරියෙකි. වයස අවුරුදු 45 කි. හෘදයාබාධයකින් බරපතළ ලෙස රෝගී වන ඔහු හදවත් සැත්කමක් සිදු කරගෙන සුවය ලබා ආපසු නිවසට පැමිණියේ රෝහලේ දින 10 ක් ගත කිරීමෙන් පසුව ය.නිවසට ඒමට පෙර චන්දන පරීක්‍ෂා කර බැලූ වෛද්‍යවරයා පැවසුවේ “දැන් ඔබට සනීපයි ගෙදර යන්න පුළුවන්. දෙන බෙහෙත් ගන්න. රෝහලේ දී ලබා දුන් ව්‍යායාම් ද ඒ පුහුණු වූ ආකාරයෙන් දිගට ම කරන්න.” යනුවෙනි.චන්දන නිවසට පැමිණ බෙහෙත් ගත්තා මිස ව්‍යායාම් කළේ නැත. චන්දන ගේ බිරිය සැමියා මහන්සි වන කිසිදු කටයුත්තකට ඉඩ දුන්නේ නැත. නිවාඩු අවසන් වීමෙන් පසු චන්දන සුපුරුදු පරිදි කාර්යාලයට යයි.සවස නිවසට එන ඔහු වෙහෙසකාරී බවක් අඟවයි. කාර්යාලයට යාම ඒම ද ඔහුට වෙහෙසකාරී බවක් ගෙන දෙයි.
වෛද්‍යවරයා හමුවන ඔහුට ද පරීක්‍ෂාවෙන් පසු ලැබෙන උපදෙස්, අසනීප තත්ත්වයක් නැහැ, ව්‍යායාම් හොඳින් කරගෙන යන ලෙස ය.ඉහත උදාහරණ දෙක බොහෝ හෘද රෝගීනට පොදු ය.ඒ සියලු දෙනා පත් වී සිටින මේ අවාසනාවන්ත තත්ත්වයෙන් මිදීමට ඇති කි‍්‍රයාවලියකි හෘද පුනරුත්ථාපනය හෙවත් ව්‍යායාම් ප‍්‍රතිකාර ක‍්‍රමය.සරත් හා චන්දන යන දෙදෙනා හෘද රෝගීන් බවට පත් වී ඉන් සුවය ලබා ගත් පසුවත් පපුව රිදීම මහන්සිය ගැන කියමින් අකර්මන්‍ය තත්ත්වයකට පත් වන්නේ ඇයි ද යන්න විමසා බැලිය යුතු ය.හෘදයාබාධයකට හෝ බයිෆාස් සැත්කමකට පසු දින කිහිපයක් ඇඳ විවේකයක් විවේකයෙන් සිටීම වෛද්‍ය උපදෙස් ය. ඒ හෘදයට ඇතිවන කායික පීඩාව අවම කිරීමට ය.එහෙත් එයින් ගැටලු දෙකක් ඇති වේ. හෘදයේ ඇති රෝගී නොවූ මාංශපේශි කොටස පවා එයින් විවේක සුවය ලබයි. එවිට සිදුවන්නේ හෘදය මගින් පිටතට පොම්ප කරන රුධිර ප‍්‍රමාණය කලින් පිට කළ ප‍්‍රමාණයට වඩා අඩුවීම ය. ඇඳ විවේකය දින කිහිපයක් සිටින රෝගියා ඇඳෙන් බැස ඇවිදීමට උත්සාහ කරන විට ඔහුට දැනට හෘදයෙන් ලබා දෙන රුධිර ප‍්‍රමාණය ප‍්‍රමාණවත් නොවේ.එසේ සිදුවන්නේ විවේක සුවයෙන් පසුවන හෘදයේ මාංශ පේශි දිගට ම එසේ විවේක සුවයෙන් සිටීමට උත්සාහ කිරීම නිසා ය. මෙවැනි අවස්ථාවක රෝගියා දිගට ම යම් කාර්යයක් කරන්නට උත්සාහ ගන්නා විට මහන්සියක් දැනෙන්නේ ඒ නිසා ය. මෙහි දී හිතට ඇතිවන බිය නිසා රෝගියා ද ඇවිදීම ද නතර කරයි.දින කිහිපයක් ඇඳෙ හෝ එක තැනක සිටීම නිසා මතුවන තවත් ගැටලුවක් ද ඇත. විවේකව ඉන්නා රෝගියකු ගේ පර්යන්ත මස් පිඩු හෘදයේ මස් පිඩු මෙන් ම එක්තරා ආකාරයක විවේක සුවයට අවතීරණ වෙයි.වැඩ කිරීමේ දී මේ නිසා පර්යන්ත මස්පිඩුවලට කලින් ලබා දුන් ප‍්‍රමාණයට වඩා වැඩි රුධිර ප‍්‍රමාණයක් සහ ඒ සමඟ වැඩි ඔක්සිජන් ප‍්‍රමාණයක් අකර්මණ්‍ය වූ එම මස් පිඩුවලට ලබා දිය යුතු ය. මේ සඳහා වැඩි බර ලබා දිය යුත්තේ දුර්වල වී ඇති හෘදයටම ය. දුර්වල වූ හෘදයට මේ නිසා වැඩ වැඩිවෙයි.මෙහි දී හෘදය කරන්නේ කලින් ප‍්‍රමාණයට වඩා විනාඩියකට වැඩි වාර ගණනක් ගැස්ම මගින් අවශ්‍ය වැඩිපුර රුධිරය සපයා දීම ය. අධික මහන්සියක් මේ නිසා දැනෙයි. හෘදය සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා වැඩි වාර ගණනක් ගැස්සෙන විට රෝගියකුට අධික මහන්සිය ද දැනෙයි. එසේ ම මෙවැනි අවස්ථාවක දී හෘද රෝගියාට නැවත හෘදයාබාධයක් ඇති වීමට හෝ ඇතැම් විට ඔහු ගේ මරණය පවා සිදුවීමට ඉඩ ඇත. හෘද පුනරුත්ථාපන හෙවත් ව්‍යායාම් කි‍්‍රයාවලියකින් සිදු කරන්නේ එවැනි තත්ත්වයෙන් හෘද රෝගියා වළක්වා ගැනීම ය.හෘද රෝගයකින් සුවය ලැබූවකු ඇඳෙ විවේකව සිටින කාලයේත් ඉන් පසුව එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු ආරම්භ කරන අතරතුර සහ ඊට පසුව ද ඒ ඒ අවස්ථාවට ගැළපෙන අන්දමින් ව්‍යායාම් ප‍්‍රතිකාර ලබා දීම අවශ්‍ය ය.
හෘද පුනරුත්ථාපනයේ දී කෙරෙන්නේ රෝගියා සුව වන විට ඒ එක් එක් අවස්ථාවේ හෘදයට දැරිය හැකි ප‍්‍රමාණයෙන් ව්‍යායාම කිරීමට උපදෙස් දීම ය. මෙසේ ලබා දෙන ව්‍යායාම තීව‍්‍රතාවය රෝගියා පෙන්වන ප‍්‍රගතිය අනුව ක‍්‍රමානුකූලව වැඩි කර ගත හැකි ය.මෙහි දී ඊ. සී. ජී. සහ ස්වායු යෝග්‍යතා පරීක්‍ෂාවක් සිදු කොට ඒ ලැබෙන ප‍්‍රතිඵල අනුව මුල් ව්‍යායාම තීව‍්‍රතාවය තීරණය කළ හැකි ය.මෙලෙස ලබා දෙන තීව‍්‍රතාවයට දිනකට යම්කිසි කාලසීමාවක් බැගින් සති කිහිපයක් ව්‍යායාම කිරීමෙන් පසු රෝගියා ගේ යෝග්‍යතාවය නැවත පරීක්‍ෂා කරනු ලැබේ. යෝග්‍යතාවය වැඩි වී ඇත්නම් ව්‍යායාම තීව‍්‍රතාවය ද පෙරට වඩා වැඩි කිරීමට උපදෙස් ලැබේ.ක‍්‍රමානුකූලව ලබා දෙන ව්‍යායාම තීව‍්‍රතාවය හා දිනපතා ව්‍යායාම කාලය ටිකෙන් ටික වැඩි කරන විට රෝගියාට තම එදිනෙදා කටයුතු කිසිදු මහන්සියකින් තොරව කර ගත හැකි ය.මේ ව්‍යායාම ගැනීම වෛද්‍යවරයකු ගේ හෝ භෞත චිකිත්සකවරයකු ගේ අධීක්‍ෂණය යටතේ මුලින් සිදු කළ යුතු වේ. පසුව රෝගියාට තනිව ම මේ ව්‍යායාම සිදු කළ හැකි ය.එවැනි ව්‍යායාම මගින් රෝගියාට වාසි 2 ක් ඇති වේ. ව්‍යායාමයට ඇති බය නැති වී යාම හා අවබෝධයක් ඇති අයකු තමා අසල රැඳී සිටීම ඒ වාසි දෙක ය. එසේ ම ව්‍යායාමය ද බොහෝ වේලාවක් සිදු කිරීමට හැකි වෙයි. එයින් ඇතිවන තෘප්තිය නිසා රෝගියාට මානසික වශයෙන් ලැබෙන උත්තේජනය මගින් රෝගය සුවපත් කිරීමට ද දායක වෙයි.එසේ ම යම්කිසි ව්‍යායාම ප‍්‍රමාණයක් ගත් පසු නැවත වරක් රෝගියා ගේ ස්වාය යෝග්‍යතාවය පරීක්‍ෂා කළ විට එහි පෙන්නුම් කරන ප‍්‍රගතිය අනුව රොගියාට දිගට ම ව්‍යායාම කිරීමට පිටිබලයක් ලැබේ.යම් අයකු ගේ හෘද ස්පන්දන වේගය මනින්නේ වයස, 220 න් අඩු කිරීමෙනි. ව්‍යායාමයක යෙදෙන විට එම අගය වන්නේ හෘද ස්පන්දන වේගයෙන් සියයට 70 කි.උදාහරණයක් වශයෙන් වයස අවුරුදු 4 ක අයකු ගේ එම අගය වන්නේ 180 කි. මෙම අගයෙන් සියයට 70 ක් යනු 126 කි. එබැවින් ඒ පුද්ගලයා ව්‍යායාම කරන විට පැවතිය යුතු හෘද ස්පන්දන වේගය අගය වන්නේ විනාඩියකට 126 වාරයකි. එම අගයට වඩා වැඩි වේගයකින් ව්‍යායාම ගැනීම අනවශ්‍ය ය. මේ අගයට වඩා අඩු අගයකට ව්‍යායාම කිරීමෙන් ද පලක් නොවේ.හෘදය හා ධමනි පද්ධතිය ශක්තිමත් වීමට නම් හෘදය යම්කිසි අවම වේගයකට ස්පන්දනය විය යුතු ය. රෝගියා, සාමාන්‍ය අයකු මෙන් ව්‍යායාම කළ හැකි වන තෙක්, ව්‍යායාම කරන අවස්ථාවේ හෘද ස්පන්දන අගය ටික ටික වැඩි කරනු ඇත. ඇතැම් විට මේ සඳහා මාස 3 – 6 දක්වා කාලයක් ගත විය හැකි ය.
එසේ ව්‍යායාම කරන රෝගියකුට සාමාන්‍ය කෙනකු මෙන් එදිනෙදා කටයුතු මහන්සියකින් තොරව කර ගත හැකි ය. මීට හේතුව ව්‍යායාම මගින් ස්වායු යෝග්‍යතාව වැඩි වීම ය.ස්වායු යෝග්‍යතාවය යනු අප කරන සාමාන්‍ය වැඩවල දී (ඇවිදීම, දිවීම, ගෙදර වැඩ කිරිම වැනි) වැඩි මහන්සියක් නොදැන එම වැඩ කළ හැකි වේගය හා තීව‍්‍රතාවය.හෘද පුනරුත්ථාපනයේ දී ව්‍යායාම ප‍්‍රතිකාරයට අමතරව තවත් බොහෝ දේ රෝගියාට ලබා දෙයි. හෘදයාබාධ නැවත ඇති වීම වළක්වා ගැනීම මෙහි අරමුණ ය. කොලෙස්ටරෝල් පාලනය, ජීවන රටාව වෙනස් කිරීමට උපදෙස් දුම්බීම නැවැත්වීම, මානසික ආතතිය අඩු කිරීමට ද උපදෙස් හා මගපෙන්වීම ද ලබා දෙයි.මෑත කාලයේ දී හඳුනා ගත් මෙටබොලික් සින්ඩෙ‍්‍රීම් නම් වූ හෘදයාබාධ, දියවැඩියාව අංශභාග වැනි රෝග ඇති කරන පෙර රෝගී තත්ත්වය ද රෝගියාට තිබේ දැයි පරීක්‍ෂා කොට එසේ ඇත්නම් ඒවායින් මිදීමට ද අවශ්‍ය උපදෙස් හා ප‍්‍රතිකාර ද එහි දී ලබා දෙනු ඇත.චිත්ත කායික උපදේශනය නව සංකල්පයක් ලෙස පිළිගෙන ඇත. භාවනාව මගින් පිළිකා සුවය ඉක්මන් වන බව කියන්නේ ඒ නිසා ය. සිත මගින් බලපෑම් එල්ල කළ හැක්කේ පිළිකා සුවයට පමණක් නොවේ.හෘදය රෝග දියවැඩියා ආදි බොහෝ රෝගවලට ද සිත මගින් බලපෑම් එල්ල කළ හැකි බව දැන් පිළිගෙන ඇත. ශරීරයේ ඇති ජනී නම් කි‍්‍රයාකාරී පද්ධතියක් මගින් සිතත් කයත් අතර අන්තර් සම්බන්ධතාවයක් ඇති වන බව ද දැන් සොයා ගෙන ඇත.චිත්ත ඒකාග‍්‍රතාවයක් ඇතිවන බව ද දැන් සොයා ගෙන ඇත.චිත්ත ඒකාග‍්‍රතාවයක් ඇති වූ විට මොළය මගින් රෝග සුව කිරීමේ බලය ඇති රසායනික ද්‍රව්‍ය නිකුත් කෙරේ.

උපුටා ගැනීම

http://www.danuma.lk/

No comments:

Powered by Blogger.