Header Ads

සිරුරේ විවිධ ඉන්ද්‍රියයන්ට ඇතිවෙන මෙන්න මේ ස්නායු රෝග ගැන ඔබත් අනිවා දැනගන්න.



සිරුරේ විවිධ ඉන්ද්‍රියයන්ට ඇතිවෙන මෙන්න මේ ස්නායු රෝග ගැන ඔබත් අනිවා දැනගන්න.
 

මෙවර Meet Your Doctor  වැඩසටහනට සහභාගී වූයේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා මහතායි.

ස්නායු පිළිබඳව බොහෝදෙනෙක් විවිධ ආකාරයෙන් පැවසීමට හේතුව කුමක්ද?

බොහෝදෙනෙක් වෛද්‍යවරුන් ලෙස නිතරම විවිධ ආකාරයේ ස්නායු දුර්වලවීමේ රෝග පිළිබඳ චෝදනා ඉදිරිපත් කරයි. නමුත් මූලික වශයෙන් මෙහි තිබෙන ගැටලුව වන්නේ ස්නායු රෝගයක් යනු කුමක්ද යන්න පිළිබඳව අවබෝධයක් නැති නිසා ඒ පිළිබඳව පවතින බියයි. .

ඒ නිසා ස්නායු රෝගයක් තිබේ නම් එසේ වන්නේ ඇයි ද යන්න පිළිබඳව ඔබට හොඳ දැනුවත් වීමක් තිබිය යුතුයි. ඒ අනුව ස්නායු පද්ධතිය යනු කුමක්ද ඒ ආශි‍්‍රතව රෝග ඇතිවන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් වීම ඉතා වැදගත්.

ස්නායු පද්ධතිය මොළය ප්‍රධාන කොටගෙන නිර්මාණය වී ඇත. එහි සුෂුම්නාව නැමැති මහා ස්නායුවක් මොළයෙන් පටන් ගෙන කොඳුඇට දිගේ පහතට ගමන් කරයි. හිස් කබල තුළ මොළය පිහිටා තිබෙන අතර එහි සිට කොඳුඇට පෙළ දිගේ පහතට යන සුෂුම්නාවේ සිට පොල් අත්තක ඉරටුමෙන් ශරීරය පුරා ස්නායු ගමන් කරයි.

එහිදී බෙල්ලෙන් පටන් ගන්නා ස්නායු අතටත් තුනටියෙන් පටන් ගන්නා ස්නායු කකුල දක්වා ගමන් කරයි. ඒ අතර මැද ප්‍රදේශයේ පිහිටි ස්නායු පපුව සහ උදරය දක්වා ගමන් කරයි. ඒ අනුව ස්නායු පද්ධතිය යනු ඉහත පැහැදිලි කළ ආකාරයට ශරීරය පුරා පැතිරී ගිය ව්‍යුහයකි.

දෙවැනි කරුණ වන්නේ ස්නායු පද්ධතිය ආශි‍්‍රතව රෝග ඇතිවන්නේ කෙසේද යන්න පිළිබඳවයි. එසේත් නැත්නම් රෝග ලක්ෂණ මතුවන්නේ කෙසේදැයි විමසා බැලිය යුතුයි. ස්නායු පද්ධතිය ආශි‍්‍රතව රෝග ලක්ෂණ ඇතිවීම කරුණු දෙකක් මත රඳා පවතියි. ඉන් පළමු වැනි කරුණ නම් ස්නායු පද්ධතියේ රෝග ඇතිවන්නේ කොතැන ද යන්නයි. එනම් මොළයේ, සුෂුම්නාවේ, නැත්නම් සුෂුම්නාවේ සිට දෙපසට යන පර්යන්ත ස්නායු පද්ධතිය ආශි‍්‍රතව ඇති වූවක් ද යන්න විමසා බැලිය යුතු වේ.

දෙවැනි කරුණ වන්නේ කුමන හේතුවක් නිසා මෙසේ අති වූයේද යන්නයි. උදාහරණයක් ලෙස, විසබීජ, ගෙඩියක්, ලේ නහරයක වරදක් ස්නායුවට බලපෑම, දියවැඩියාව, ප්‍රෙෂර්, වස විස, අධි රුධිර පීඩනය, ජානමය හේතුවක් නිසාද යන්න පිළිබඳ විමසා බැලිය යුතු වේ. ඒ අනුව ස්නායු පද්ධතියේ රෝගයක් ඇත්නම් ඉහත පැහැදිලි කළ ආකාරයට කොතැන කුමන හේතුවක් නිසා රෝගය ඇතිවනවා දැයි විමසා බැලිය යුතු වේ.

රෝග ලක්ෂණත් සමඟ රෝගියෙක් ඔබ වෙත පැමිණිය හොත් වෛද්‍යවරයෙකු ලෙස ඊට පසුව ගන්නා පියවර මොනවාද?

බොහෝවිට මිනිසුන් තමාට සුළු හෝ ස්නායු රෝගයකට සමානකම් ඇති යම් අපහසුතාවක් ඇති වූ විට තමාට ස්නායු රෝගයක් කියා බියක් ඇති කර ගනියි. නමුත් රෝගියෙකුට ඇති වී තිබෙන රෝග ලක්ෂණය සැබැවින්ම ස්නායු රෝගයක් ද නැද්ද යන්න පිළිබඳ තීරණය කරන්නේ කෙසේ දැයි විමසා බලමු.

ස්නායු පද්ධතිය ශරීරය පුරාම පවතින බැවින් මෙහි රෝග ලක්ෂණ ශරීරයේ ඕනෑම තැනක ඇතිවිය හැකියි. ඒ වගේම ශරීරය පුරා ඇති වනවා යැයි කියූ පමණින්ම එය ස්නායු රෝගයක්ම බව ඔබ වරදවා වටහා නොගත යුත්තේ එම ඉන්ද්‍රියයන් වලට ස්නායු වලින් පමණක්ම බලපෑමක් එල්ල නොවන නිසාවෙනි.

ඒ අනුව ස්නායු නොවන හේතුවක් ද ඇතැම්විට මෙසේ ශරීරය පුරා විවිධ ඉන්ද්‍රියයන් ආශි‍්‍රතව රෝග ලක්ෂණ ඇතිවීමට බලපෑ හැකියි යන සිතුවිල්ල ද ඇතිව ඔබට යම් රෝග ලක්ෂණයක් ඇති වූවා නම් ඒ පිළිබඳ විමසා බැලිය යුතුයි.

මීට උදාහරණ අවස්ථාවක් ලෙස කන, “හෝ” ශබ්දයක් ඇතිවීමේ රෝග අවස්ථාව පිළිබඳ සලකා බැලිය හැකියි. එහිදී එම රෝග ලක්ෂණය සඳහා ඇතැම්විට හේතුවන්නේ කනේ ගැටලුවක්, කන හා සම්බන්ධ ස්නායුවේ හෝ කනට පැමිණෙන ස්නායුව ආරම්භ වන මොළ කොටස ආශි‍්‍රත ගැටලුවක් විය හැකියි.

කෙසේ වෙතත් රෝගියා කන ආශි‍්‍රත ගැටලු පිළිබඳ පවසන විට වෛද්‍යවරයා ඒ අවට ප්‍රදේශ සම්බන්ධයෙන් ද එකතු කරගත් තොරතුරු ආශ්‍රයෙන් කුමන ස්ථානයක ද එම ගැටලුව ඇති වී තිබෙන්නේ කියා හඳුනා ගනු ලැබේ.

ඇතැම්විට රෝගියාට මෙහිදී ස්නායු ප්‍රශ්නයක් තිබුණ ද අදාළ අවයවය ආශි‍්‍රතව ද මොළය ආශි‍්‍රතව ද ඇතිවූ හේතුවක් ද යන්න පිළිබඳ කරුණු එකතු කොට අවසානයේ යම් නිගමනයකට එළඹෙනු ලැබේ. එහිදී ඉහත උදාහරණ අවස්ථාවට අනුව කන පිළිබඳ ප්‍රධානත්වය දෙමින් මොළය පිළිබඳව අවධානය යොමුකර රෝග අවස්ථාව තීරණය කළ යුතු වේ.

විවිධ ස්ථාන අනුව ඇතිවන ස්නායු රෝග ලක්ෂණ විවිධාකාරද?

මොළයෙන් පටන්ගෙන මුහුණට එන ස්නායු ආශි‍්‍රතව ඇතිවන රෝග ලක්ෂණ අතර ඇසේ පෙනීම ආශි‍්‍රත ගැටලු පිළිබඳ කතාබහ කර හැකි වේ. එහිදී “එක දෙක වී පෙනීම” ලෙසින් මෙසේ ඇතිවන රෝග ලක්ෂණ පිළිබඳ සාමාන්‍ය ව්‍යවහාරයේ හඳුන්වනු ලැබේ.

මෙම “එක දෙක වී” පෙනීමේ රෝග ලක්ෂණය බොහෝදුරට ස්නායු රෝගයක ලක්ෂණයක් විය හැකියි. ඒ වගේම කනට එන ස්නායු ආශි‍්‍රත යම් ගැටලුවක් පැමිණියහොත් එහි රෝග ලක්ෂණ ලෙස කනින් “හෝ” යන ශබ්දයක් ඇතිවිය හැකියි. ඒ වගේම කනේ ඇසීමේ ගැටලු ද ස්නායු රෝග ලක්ෂණ විය හැකි නමුත් වෙනත් හේතු නිසාද කන් ඇසීමේ දුර්වලතා ඇතිවිය හැකි බවද ඔබ මතක තබාගත යුතුයි.

ඒ වගේම ආහාර ගිලින විට එම ආහාර උගුරෙන් පහතට යාමට හොඳ ස්නායු පද්ධතියක ක්‍රියකාරීත්වයක් අවශ්‍ය වේ. නමුත් එහිදී යම් ස්නායු ගැටලුවක් ඇති වූවොත් කෑම හිරවීම, කැස්සක් ඇති වීම මෙන්ම වතුර බොනවිට පිට උගුරේ යාම වැනි ලක්ෂණ ඇතිවිය හැකි වේ. මුහුණ ආශි‍්‍රතව ස්නායු දුර්වල වූවොත් මුහුණේ කට පැත්තකට යාම එක ඇසක ක්‍රියාකාරීත්වය අඩුවීම ආදී මුහුණේ එක පැත්තක් වැඩ නොකරන මට්ටමේ රෝග ලක්ෂණ ඇතිවිය හැකියි.

අත්,කකුල් වෙත දිවෙන ස්නායුවල යම් ගැටලුවක් ඇති වූවොත් එය හිරියක් ලෙසින් හෝ ශක්තිය අඩුවක් ලෙසින් හෝ ඇතිවිය හැකියි. මේ නිසා අත් ඔසවා ගැනීමට නොහැකි වීම අතින් යමක් ඇල්ලූ විට අතින් ගිලිහී යාම, අත නිසි පරිදි ගමන් කරවීමට නොහැකි වීම, අත වෙව්ළීම, කකුල්වලින් ඇවිද ගැනීමට නොහැකි වීම, හිරිය, විසිවෙන්නට වගේ යාම, ඉවසා ගත නොහැකි කකුලේ වේදනා, බිම වාඩි වී නැඟිටීමට නොහැකි වීම ආදී රෝග ලක්ෂණ මතුවිය හැකියි.

කොන්දේ කැක්කුම, මේ ආශි‍්‍රත ප්‍රශ්නයක් නිසා ඇතිවේද?

කුකුල ඔසවා ගන්නට බැරි පුද්ගලයෙකුට කොන්දේ ස්නායු තෙරපීමක් නිසා ස්නායු දුර්වල විය හැකියි. කොන්දේ අන්තර් කෂේරුක මණ්ඩලයට යම් හානියක් වී ස්නායු තෙරපීමෙන් කකුලේ වේදනා ඇතිවිය හැකියි. මීට අමතරව ස්නායු තෙරපීමට තවත් හේතු තිබිය හැකි අතර ගෙඩි ඇතිවීම, විසබීජ ආදිය මීට උදාහරණ වේ.

මොළයේ සිට සිදුවන පණිවිඩ හුවමාරුවේ ගැටලු රෝග ලක්ෂණ ලෙස අපට දැනෙනවාද?

මොළයේ පණිවිඩ හුවමාරු වන්නේ ස්නායු හරහායි. යම් කිසිවිටෙක මෙම ස්නායු හිරවීමෙන් හිරියක් සමඟ පණ නැති වීමක් ඇති වේ. මෙසේ පණිවිඩ නිසිලෙස නොපැමිණීම නිසා අදාළ ස්නායුවට ගැලපෙන්නට හිරියක් ද නැවත මොළයේ සිට පණිවිඩය ගමන් කරන විට මාංශපේශිය චලනය කිරීමට ශක්තිය ලබා නොදෙන විට පණ නැති ගතියක් ඇතිවිය හැකියි.

ස්නායුවක් විසින් සිදු කරන කාර්ය භාර්යය වෛද්‍යවරයෙකුට කෙතරම් වැදගත් ද?

රෝගියෙකු පරීක්ෂා කිරීමේදී වෛද්‍යවරයෙක් ලෙස ඒ පිළිබඳව හොඳ අවබෝධයකින් කටයුතු කළ යුතු වේ. මෙම පරීක්ෂාවෙන් නිශ්චිතවම රෝගය තිබෙන්නේ කුමන ස්ථානයේ දැයි වෛද්‍යවරයාට තීරණය කිරීම පහසුවක් වේ.

මූලිකව රෝගියෙක් පැමිණිවිට රෝගියාගේ රෝග ඉතිහාසය පිළිබඳ තොරතුරු විමසා බැලිය යුතු වේ. ඊට පසුව රෝගියා පරීක්ෂා කරනු ලැබේ. ස්නායු රෝගවලදී රෝගියා පරීක්ෂා කර බැලීමෙන් රෝගය තිබෙන ස්ථානය වෛද්‍යවරයා දැන ගන්නා අතර රෝග ඉතිහාසය විමසීමෙන් රෝග හේතුව සොයා ගනු ලැබේ. ඒ නිසා මෙසේ රෝගියා පරීක්ෂා කිරීම හා රෝග ඉතිහාසය පිළිබඳ දැනගැනීම ඉතා වැදගත් වේ.

රෝගියෙකුගේ රුධිර නාල තුළ ලේ කැටියක් හිරවීම ස්නායුවලට බලපාන්නේ කෙසේද?

ස්නායු ජාලයක් මෙන්ම ශරීරය පුරා රුධිර නාල ජාලයක් ද ගමන් කර ඇත. මොළය පුරා එසේ විසිරී ගිය ස්නායු ජාලයට සමාන්තරව රුධිර නාල ජාලයක් ද ඒ වටා ගමන් කර ඇත. මෙම මොළයේ ඇති ස්නායු ජාලය ලේ නහර ජාලයේ උදවුවෙන් පෝෂණය වේ. යම්කිසි ලේ නහරයක් අවහිර වී ගියොත් ඒ ආශි‍්‍රත රුධිර නාල ජාලයට හානිවනවා මෙන්ම ඉන් පෝෂණය වන

ස්නායු වලටද හානි ඇති වේ. එම ස්නායු ජාලයේ කටයුතු ඇන සිටින නිසා අංශභාග රෝග ලක්ෂණ ඇති වේ.

දියවැඩියාව නිසාත් ස්නායු රෝග ඇති වනවාද?

දියවැඩියාව ස්නායු රෝගත් සමඟ තදින් බද්ධ වී පවතියි. ශරීරය පුරා තිබෙන මුළු ස්නායු පද්ධතියම රුධිරයෙන් නැහැවෙමින් පවතියි. ඒ නැහැවෙන ලේවල සීනි අධික වීමෙන් ශරීරය පුරා ඇති ස්නායු ද නැහැවෙන නිසා ක්‍රමානුකූලව ස්නායුවලට හානි ඇති වේ.

මේ නිසා දියවැඩියා රෝගීන්ගේ පාදවල හිරිය, යටිපතුල්, දණහිස්, අත් ආදී වශයෙන් ක්‍රමයෙන් ඉහළට එම හිරිය පැතිරී යයි. මෙවැනි අවස්ථාවකදී දියවැඩියාව පාලනය නොකර ගැනිමෙන් රෝගී අවස්ථාවෙන් නිදහස් වීම අපහසු වේ.

ඒ නිසා දියවැඩියාව නිසා ඔබට ස්නායු රෝගයක් තිබේ නම් දියවැඩියාව පාලනය කළ යුතු වේ. මේ සඳහා ඖෂධ කෙතරම් ලබා ගත්තත් අනිවාර්යයෙන්ම කෑමෙන් පාලනය නොවී සීනි පාලනය නොවේ.




ස්නායු රෝග සුව කළ හැකිද?

ස්නායු රෝගය මොකක්ද කියන දේ මත පාලනය කිරීමට හැකිද නොහැකිද යන්න තීරණය කළ හැකියි. ඇතැම් ස්නායු රෝග අහිංසකය. බොහෝ ස්නායු රෝග සුවපත් කළ හැකියි. සමහර ඒවා පාලනය කළ හැකියි. කලාතුරකින් හොඳ කරන්න බැරි වුවත් විසඳුම් තිබේ.

ශක්තිමත්ව ඊට මුහුණ දිය යුතුයි. ස්නායු රෝග ඇතිවීමට හේතු දැනගෙන ඒවායින් වැළකී සිටීම වඩාත් වැදගත්, මත්පැන් පානය, දුම්පානයෙන් වැළකීම, දියවැඩියාව පාලනය, හෘද රෝග අවම කර ගැනීම, වැරදි ඉරියව්වෙන් නොසිටීම, කොන්ද සහ බෙල්ල කෙළින් තබාගෙන කටද පරිස්සම් කරගෙන කටයුතු කිරීම ද ඉතා වැදගත් වේ.

- නුවන්ති කුලරත්න



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

 
 



No comments:

Powered by Blogger.