Header Ads

අපස්‌මාර රෝගය ඇතිවෙන්නේ මෙන්න මේ හේතු නිසා.ඔබ අනිවාර්යෙන්ම මේ ගැන දැනුවත් වෙන්න.


අපස්‌මාර රෝගය ඇතිවෙන්නේ මෙන්න මේ හේතු නිසා.ඔබ අනිවාර්යෙන්ම මේ ගැන දැනුවත් වෙන්න.

අපස්‌මාරය (Epilepsy) එහෙමත් නැත්නම් මි මැස්‌මොරය රෝගියකු පිළිබඳව අප තුළ මැවෙන චිත්‍රය වනුයේ නොසිතූ මොහොතක එකවරම අත පය ගැහෙමින් කටින් සෙම පෙරාගෙන සිහි විකලෙන් මෙන් දඟලන පුද්ගලයෙකි. මෙවැනි රෝගීන් පිළිබඳව සමාජය තුළ ඇත්තේ විවිධ ආකල්පය. මෙය මානසික රෝගයක්‌, භූත දොaෂයක්‌, කුඩා කල මතුවූ උණ වලිප්පුවේ අතුරු ආබාධයක්‌ ආදී ලෙසින් සිතති. එනිසා අපස්‌මාරය පිළිබඳව අප නිවැරදි දැනුමක්‌ ලබාගැනීම අත්‍යවශ්‍යය. ඉන් අපස්‌මාර රෝගීන්ට විශාල යහපතක්‌ සිදුවේ.

අපස්‌මාර රෝගය යනු

අපස්‌මාරය රෝගය යනු මොළයේ සිදුවන සාමාන්‍ය විද්යුත් ක්‍රියාදාමය සුළු මොහොතකට අසාමාන්‍ය අධිවේගී තත්ත්වයට පත්වීමය.

මෙම රෝගය බොහෝ විට ආරම්භ වන්නේ ළමා වියේදී හෝ තරුණ වියේදීය.

රෝගය ඇතිවූ විට විනාඩි දෙක තුනක්‌ රෝගියා සිහිසුන්වීම, අතපය වේගයෙන් සෙලවීම සහ දරු දඬුවීම, කටින් සෙම වැගිරීම, දතකට පූට්‌ටුවීම, ඇස්‌ උඩයාම, දිව තොල් සැපීම සහ ඇතැම් විට මුත්‍රාපිටවීම පවා සිදුවේ.

අපස්‌මාරය රෝගය වැළඳුණු පළමු අවස්‌ථාවේදීම නිසි ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් නැවත රෝගය වැළඳීමේ අවස්‌ථාව පාලනය කරගත හැකිය. ඒ සඳහා රෝගය වැළඳුන දින සිට වසර 2-5 ත් අතර කාලයක්‌ අඛණ්‌ඩව ඖෂධ ප්‍රතිකාර ලබාගත යුතුය. ප්‍රතිකාර ගත යුතු කාලය තීරණය වනුයේ රෝගයේ ස්‌වභාවය මතය.

වැරදි මත

ළමා වියේදී අපස්‌මාරය රෝගය වැළඳුනහොත් බොහෝ දෙනා සිතනුයේ එම දරුවන්ගේ මොළයේ වර්ධනයේ දුර්වලතා මතුවිය හැකි යෑයි කියාය. නමුත් එවැනි කිසිදු ගැටලුවක්‌ මතු වන්නේ නැත. එනිසා අපස්‌මාර රෝගී දරුවන්ට අධ්‍යාපන කටයුතුවල යෙදීමේ කිසිදු බාධාවක්‌ ඇති නොවේ. රෝගය නිසා මතක ශක්‌තිය දුර්වලවීමක්‌ හෝ සිදු නොවේ.

අපස්‌මාර රෝගය මානසික රෝගයක්‌ නොවන බව අප ඉතා පැහැදිලිවම අවබෝධ කරගත යුතුය. කිසියම් අදෘෂ්‍යමාන බලපෑමක්‌ මත ඇතිවන භූත දෝෂයක්‌ද නොවේ. එසේම මෙය මොළයේ ගැටිත්තක්‌ නිසා මතුවන රෝගයක්‌ද නොවේ. අපට මෙලෙස පැවසීමට සිදුවන්නේ අපස්‌මාරය රෝගය මතුවීමේදී බොහෝ රෝගීන්ට ඇසෙන විවිධ ශබ්ද සහ එම අවස්‌ථාවේදී අවට පරිසරයේ ඇති සාමාන්‍ය දේවල් තමාට පෙනෙන ආකාරය පිළිබඳව රෝගී තත්ත්වයෙන් පසු අන් අයට ප්‍රකාශ කිරීමෙනි. එවිට බොහෝ දෙනා සිතන්නේ මෙය භූත දෝෂයක්‌ හෝ අදෘෂ්‍යමාන බලපෑමක්‌ ලෙසය.

අපස්‌මාර රෝගී දරුවකු තමාට රෝගය මතුවූ අවස්‌ථාවේදී දැනුනු රෝග ලක්‌ෂණ ලෙස පැවසුවේ තමා අසල සිටි තම මවගේ ශරීරය ඉතා විශාලව පෙනෙන්නට පටන් ගත් බවය.

අපස්‌මාර රෝගය මතුවන විට තමාට මෙතෙක්‌ කිසිදා නොඇසූ ශබ්ද ඇසෙන්නට පටන් ගන්නා බව එම රෝගී තරුණයකු සඳහන් කර තිබිණි. මෙම රෝග ලක්‌ෂණ ඉතා නිවැරදිව අවබෝධ කරගත යුතුය.

මෙවැනි රෝග ලක්‌ෂණ මතුවන්නේ මොළයේ විද්යුත් ක්‍රියාකාරීත්වය අසාමාන්‍ය අධි ක්‍රියාකාරිත්වයට පත්වන විටදීය.

ක්‍රීඩා කටයුතුවල නිරතවීම

අපස්‌මාර රෝගී දරුවන් ක්‍රීඩා කටයුතුවල නිරතවීමට ඉඩ නොදිය යුතු යෑයි කියා ඇතැම් දෙමාපියෝ සිතති. එය වැරදි මතයකි. නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා අපස්‌මාර රෝගී දරුවන්ට ක්‍රීඩා කටයුතුවල නිරතවීමට කිසිදු බාධාවක්‌ නැත.

පොත්පත් පාඩම් කිරීම

පොත් පත් පාඩම් කිරීම මනස වෙහෙසවා කටයුතු කිරීම අපස්‌මාර රෝගීනට රෝගය යළි මතුවීමට බලපාන හේතු ලෙසද දෙමාපියෝ සිතති. සාමාන්‍ය අයුරින් පොත්පත් පාඩම් කිරිම අධ්‍යාපන කටයුතුවල යෙදීමට අපස්‌මාරය රෝගය කිසිදු බාධාවක්‌ නැත. අධික ලෙස වෙහෙසවා පොත්පත් පාඩම් කිරීම කිසිදු අයකුට සුදුසු නැත. ඉන් සිදු වන්නේ මතක ශක්‌තිය අඩුවීම පමණකි.

නිදි වැරීම හොඳ නැත

අපස්‌මාර රෝගීන්ට නිදි වැරීම හොඳ නැත. දිනකට පැය 07 ක්‌ වත් ඔවුනට නින්ද අවශ්‍යය. නිදි වරමින් ගමන් බිමන් යැම උත්සවලට සහභාගිවීමද අපස්‌මාර රෝගීන් වැළකිය යුතුය. නිදිවැරීම නිසා යළි රෝගය මතුවීම ඇති ඉඩකඩ වැඩිවේ.

මව් පිය පදවි ලැබීම

අපස්‌මාර රෝගී පිරිමියකුට හෝ කාන්තාවකට විවාහයෙන් පසු දරුවන් බලාපොරොත්තු වීමේදී එය වෛද්‍ය උපදෙස්‌ මත සැලසුම් සහගතව සිදු කළ යුතුය. එවිට අපස්‌මාර රෝගය මවුපිය පදවිය ලැබීමට බාධාවක්‌ නොවේ.

බිහිවන දරුවන්ට අපස්‌මාර රෝගය වැළඳීමේ ඇති හැකියාව ඉතා අවමය. මෙය පරම්පරාවෙන් පරම්පරාවට යන රෝගයක්‌ නොවේ. එබැවින් ඒ ගැන බියවිය යුතු නැත.

ප්‍රතිකාර ලබාදීම

අපස්‌මාරය රෝගය දීර්ඝ කාලීනව පවතින ස්‌නායු රෝගයක්‌ ලෙස සලකන නිසා ස්‌නායු රෝග ඒකකයකින් ප්‍රතිකාර ලබාගත යුතුයි. කොළඹ ජාතික රෝහලේ ස්‌නායු රෝග අංශයේ අපස්‌මාර රෝගය සඳහා අංගසම්පූර්ණ පහසුකම් සහිත ප්‍රතිකාර ඒකකයක්‌ද ඇත.

අපස්‌මාර රෝගයට ප්‍රතිකාර ලබාදීම කොතරම් කාලයක්‌ සිදු කළ යුතුද කියා තීරණය වන්නේ පවතින රෝග තත්ත්වය අනුවය. එම ප්‍රතිකාර නිසි අයුරින් අඛණ්‌ඩව ලබාගත යුතුයි. අතරමග නතර නොකළ යුතුය.

දතකට පූට්‌ටු වීම

අපස්‌මාරය වැළඳුනවිට දත කට පූට්‌ටු වීම වළක්‌වාලීම දත් ඇඳි අතරට හැන්දක්‌ හෝ යකඩ කැබැල්ලක්‌ තැබීම අතට යකඩ කැබැල්ලක්‌දීම ආදිය නොකළ යුතුයි. රෝගය මතු වූ විට එය විනාඩි දෙක තුනක්‌ පැවතී නතර වේ.

බාහිරින් ලබාදෙන ද්‍රව්‍ය මගින් අපස්‌මාර රෝගය ඇතිවීමට බලපෑ මොළයේ අසාමාන්‍ය විද්යුත් ක්‍රියාකාරීත්වය පාලනය කළ නොහැකියි. ඉන් සිදුවන්නේ සිරුරට වෙනත් අනතුරු ඇතිවීමට ඇති ඉඩකඩ වැඩිවීම පමණකි.

අපස්‌මාර රෝගය යනු එදිනෙදා සාමාන්‍ය ජීවිතයක්‌ ගත කිරීමට බාධා ඇතිකරන රෝගයක්‌ නොවේ.

කොළඹ ජාතික රෝහලේ ස්‌නායු රෝග පිළිබඳ
විශේෂඥ වෛද්‍ය මහාචාර්ය රංජනි ගමගේ.
සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවති අපස්‌මාරය පරදවන්න
ජීවිතය ජයගන්න සම්මන්ත්‍රණය ඇසුරිනි.

.උණවලිප්පුව අපස්‌මාරයේ මුල් අවස්‌ථාවද?

ආපස්‌මාරය ඇතිවීමට කුඩා කල ඇතිවන උණ වලිප්පුවේ බලපෑමක්‌ තිබෙනවාද?

නැහැ...... උණවලිප්පු සහ අපස්‌මාරය කියන්නේ රෝග දෙකක්‌. උණ වලිප්පු ඇතිවීමට බලපාන්නේ කුඩා කාලයේදී දරුවන්ගේ මොළය නිසි ලෙස වර්ධනයවී නොමැති කමින් දරුවාට උණ හටගැනීමකදී ඉහළ යන ශරීර උෂ්ණත්වය මොළයට එකවර දරා ගැනීමට නොහැකිවීම නිසා ඇතිවන කම්පනයයි.

උණ හටගැනීම නිසා ඇතිවන කම්පනය දරුවාගේ වර්ධනයත් සමග ඇතිවෙන මොළය වර්ධනය වීමෙන් දරාගත හැකිවේ. එනිසා උණවලිප්පුව අපස්‌මාරය රෝගයේ මුල් අවස්‌ථාව නොවේ. එය සම්පූර්ණයෙන් වැරදි මතයකි.

දරුවකුට කුඩා කල මතුවන අපස්‌මාරය හඳුනා ගන්නේ කෙසේද?

මව් කිරි බොමින් සිටියදී දරුවා එකවර ඉන්මිදී නිසොල්මන්ව සිටී නම් දෙපාවල වේගවත් චලනයක්‌ මතුවේ නම් ශරීරය නිල් පැහැ ගැන්වී තිබෙනු දැකගත හැකි නම් හිස සහ කඳ එකවර නැවී යැමක්‌ සිදුවේ නම් වහාම එම දරුවා වෛද්‍ය පරීක්‍ෂාවකට යොමු කළ යුතුය. මෙම අසාමාන්‍ය ලක්‌ෂණ අපස්‌මාරය රෝගය නිසා මතුවූ ඒවා විය හැකිය.

කුඩා කල අපස්‌මාරය රෝගය ඇතිවීමෙන් දරුවාගේ මොළයේ වර්ධනය අඩාල වෙනවාද?

දරුවකුගේ මොළය වර්ධනයවීම වයස අවුරුදු 16 පමණ දක්‌වා සිදුවේ. නිතර නිතර අපස්‌මාරය ඇති වුණොත් මොළයේ සෛල වර්ධනයවීමට බාධා මතු විය හැකියි. එනිසා රෝගය හඳුනාගත් වහාම නිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවීමෙන් මෙම ගැටලු මගහරවා ගත හැකියි.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ
ළමා ස්‌නායු රෝග විශේෂඥ වෛද්‍ය
ප්‍යාරා රත්නායක

සමාජයෙන් කොන් කරන්න එපා

අපස්‌මාරය කියන්නේ භයානක රෝගයක්‌ නොවේ. නමුත් රෝගය භයානක වන්නේ මෙවැනි රෝගීන් සමාජයෙන් කොන්කර තැබීම හෝ හුදකලා කළ විටදීය.

සමහර දෙමාපියන් අපස්‌මාර රෝගී දරුවන් පාසල් යවන්න බියවේ. ඇතැම් ගුරුවරුන්ද එවැනි දරුවන් පාසල් එනවාට කැමැති නැත. මෙය වැරදි ක්‍රියාවකි.

දරුවාට නිසි ප්‍රතිකාර ලබාදෙමින් සාමාන්‍ය ජීවිතයක්‌ ගත කිරීමට ඉඩකඩ සැලසිය යුතුය. අපස්‌මාර රෝගී දරුවන් ගංගා ඇළ දොළවල නෑමට යැමේදී ගින්දර ආශ්‍රිතව නිවසේ ඉවුම් පිහුම් කටයුතු කිරීමේදී, අන් අය ඒ පිළිබඳව වැඩි සැලකිල්ලක්‌ දැක්‌විය යුතුයි.

අපස්‌මාර රෝගී දරුවන් තුළ ආවේගශීලී හැඟීම් මතුවිය හැකිය. එනම් අධික කෝපය යම් දෙයකට නිසි අවධානයක්‌ නොමැති බව නොසන්සුන් බව ආදිය සිදුවේනම් ඒ සඳහා නිසි මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා දරුවා යොමු කළ යුතුය. ඉන් මතුව ඇති ආවේගශීලී හැඟීම් පාලනය කළ හැකිය.

අපස්‌මාර රෝගී දරුවන් සමාජය තුළින් කොන් නොකර අනෙකුත් දරුවන් හා සමානව සිතමින් කටයුතු කිරීමෙන් සහ නිසි ප්‍රතිකාර ලබාදී රෝගය මතුවීම පාලනය කිරීම මගින් මෙම දරුවන් අනාගතයට වැඩදායි දරුවන් ලෙස සමාජයට දායාද කළ හැකිය.

රිඡ්වේ ආර්යා ළමා රෝහලේ
මානසික රෝග විශේෂඥ වෛද්‍ය
ස්‌වර්ණා විඡේතුංග


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි





 

No comments:

Powered by Blogger.