Header Ads

විදු ඇසට හසු නොවූ විශ්වයේ සැඟවුනු විශ්මිත රහස් ති‍්‍රපිටකය ඇසුරින් හරියටම දැනගන්න.


විදු ඇසට හසු නොවූ විශ්වයේ සැඟවුනු විශ්මිත රහස් ති‍්‍රපිටකය ඇසුරින් හරියටම දැනගන්න.

මේ වෙන කොටත් විද්‍යාවෙන් හොයා නොගත්තු, විශ්වයේ සැඟවිච්ච අභිරහස් කොච්චර නම් තියෙනවද? දවස ගානෙ කෙරෙන විද්‍යාත්මක පරීක්‍ෂණවල ප‍්‍රතිඵල විදිහට මොනව හරි දෙයක් අළුතින් හොයා ගෙන ලෝකය හමුවේ ඉදිරිපත් කිරීම මේ වෙන කොටත් බහුලව සිද්ධ වෙනවා. ඒ අලූත් සොයා ගැනීම් සමගම, ඊට පෙර නිවැරදියි කියල හොයා ගත්තු සමහර සංකල්පවල බිඳ වැටීමක් සිද්ධ වීමක් දකින්න තියෙන දෙයක්. ඉතින් මේ ආදී විවිධ කාරණාවල සත්‍ය අසත්‍යතාවයන් නැවත බිඳ නොවැටෙන්නම ඔප්පු කරන්නෙ කොහොමද ?

ඒ අනුව ඇසට නොපෙනෙන සියුම් අලෝක කිරණ තියෙන බව, ශරීරයෙන් විහිදෙන රැස් මඩලක් තියෙන බව, මනුස්සයින්ගෙ ඇති වන විවිධ චේතනාවන්ට අනුව ඒ රැස් මඩලේ වර්ණ වෙනස්වන බව, ඒ අනුව ආලෝකයේ නිර්මාතෘවරයා සිත බව, නිල් රතු කහ සහ සුදු කියන මේවා මූලික වර්ණ වෙන්න හේතුව, ආලෝකයත් තරංගයක් බව, විවිධ ආලෝකයන්ට අදාල සංඛ්‍යාත තියෙන බව, ඒ සංඛ්‍යාතයන්ට අදාල ශක්ති තියෙන බව, ඒ අනුව චේතනාවන්ට අනුකූලව රැස් ම`ඩලින් විහිදෙන ආලෝක ශක්තිය සහ කර්ම ශක්තිය අතර සම්බන්ධය, ඒ ශක්තිය මනින ආකාරය, චේතනාහං භික්ඛවේ කම්මං වදාමි කියන බුදු වදන සම්බන්ධ වෙන ආකාරය, ආලෝකය පදාර්ථයක් බව, ආලෝකයේ නිර්මාතෘ ඇසුරෙන් පදාර්ථයේ නිර්මාතෘවරයා සොයා ගැනීම, නොයෙක් නොයෙක් ගස්වැල් හට ගැනීමට හේතුව, මිනිස්, බලූ, නයි, මුගටි ආදී නොයෙක් නොයෙක් සත්ව කුලවල ඵලයන් හට ගැනීමට හේතුව, දැනට පිළිගත් මහා පිපුරුම් න්‍යායේ අසත්‍යතාවය, දීඝ නිකායේ අග්ගඤ්ඤ සූත‍්‍රයේ එන බ‍්‍රහ්ම කායික සත්වයින්ගෙන් නිර්මාණය වන රස පොළව හට ගන්නා ආකාරය, ග‍්‍රහ ලෝකවල පදාර්ථ නිර්මාණය, මූල ද්‍රව්‍ය 108 ක් හට ගැනීමට හේතුව සහ බුදු දහමේ පෙන්වන වේදනා සංයුක්තයේ එන වේදනා 108 සහ නාම රූප 108 අතර සම්බන්ධය, Backy Ball සිද්ධාන්තයේ C60 H48 අණුවේ පරමාණු 108 ක් හැදෙන්න තණ්හා 108 ක් බලපාන ආකාරය, ආයුර්වේදයේ එන වා පිත් සෙම්වලට ලෝභ, දෝස, මෝහ සම්බන්ධ වන ආකාරය, කච්ඡුායන ගොත්ත සූත‍්‍රය ඇසුරින් ගණිතයේ සහ පරිගණකයේ මුල 0 සහ 1 වීමට හේතුව, ගුරුත්වාකර්ශන නියමය සහ ඉපිලූම් නියමය අභිබවා යන බුදු දහමේ පෙන්වන ගති ආකර්ශන මූලධර්මය, ආනන්ද හිමියන්ගේ, සැරියුත් හිමියන්ගේ සහ බුදුන් වහන්සේගේ කටහඬේ වේගය විදිහට දැක්වෙන දෙකේ පාදයේ ගුණාකාර වන 8, 64, 512 යන සංඛ්‍යාවන් භෞතික විද්‍යාවෙන් පහදන හැටි, පරා භෞතික විද්‍යාවේ එන Pyro Bourd සංකල්පය හරහා ඔප්පු වන ගති ගුණ, ගති හඬ සහ ගති රුව කියන කාරණය …. මේ ආදී කරුණු රැසක් විද්‍යාවට සහ බුදු දහමට අනුකූලව ගැඹුරින් විග‍්‍රහ කෙරෙන ලිපි පෙළක් තමයි මේ.



ආලෝකයේ නිර්මාතෘ
පළවෙනි කාරණය විදිහට ආලෝකය ගත්තොත්, මනුස්ස ශරීරය වටා පිහිටි බඹයක් තරම් වූ තවත් කිරණමය කයක් තියෙන බව බුදු දහමෙත්, පැරණි යෝගීවරුත් පෙන්වල තියෙනවා. ඒ කාරණය විශේෂයෙන් දිවැසකට, සමාධියකට, එහෙම නැත්නම් ඥානයකට ගෝචර වන කාරණයක් නිසා මෙච්චර කාලයකට බටහිර විද්‍යාව මත පදනම් වෙච්ච සාමාන්‍ය ජනයා ඒක විස්වාස කළේ නෑ. නමුත් දැන් තියෙන කිරිලියානු ඡායාරූප ක‍්‍රමය, ඕරා කෑම් ඡායාරූප ක‍්‍රමය වගේ අති නවීන තාක්‍ෂණ ක‍්‍රමවේදවලට මේ කාරණය ගෝචර වෙලා තියෙන නිසා, ඒ පිළිබඳ බොහෝ පර්යේෂණ කරල මේ කිරණමය ශරීරය ඡායාරූපවලටත් හසු කර ගෙන තියෙනවා. වර්තමානයේ ඕරා වළල්ල හෙවත් රැස් මඬල කියල හඳුන්වන්නෙ මේ කිරණමය කය. ඉතින් මේ කාරණය දැන් බටහිර විද්‍යාවටත් අහු වෙලා තියෙන නිසා ඒ පිළිබඳව බොහෝ දෙනෙක් මේ වෙන කොටත් දැඩි උනන්දුවක් දක්වනව වගේම, ඒ පිළිබඳව කරන පර්යේෂණ කටයුතුත් වැඩි වෙලා තියෙනවා.

හැබැයි මේ ඕරා හෙවත් රැස් මඬල පිළිබඳව නවීන විද්‍යාවෙන් මෑතකදි පිළිගත්තත්, අපේ සමහර පැරණි සිරිත්වලින් වගේම එදිනෙදා සාමාන්‍ය සිදුවීම්වලිනුත් මේ කාරණය යම් තරමකට ඔප්පු කරන්න පුළුවන්. නමුත් ඒ ගැන මෙච්චර කාලයක් සොයා නොබැලීම නිසා තමයි ඒ කරුණු කාරණා හෙළිදරව් වෙලා නැත්තෙ. අපේ සාම්ප‍්‍රදායිකව සිදු කර ගෙන එන බෝධි පූජා, සෙත් කවි කීම්, ආශිර්වාද කිරීම, පින් අනුමෝදන් කිරීම් … ආදී කටයුතුවලට මේ කියන ඕරා වළල්ල සෘජුවම සම්බන්ධයක් තියෙන බව නවීන විද්‍යාවෙනුත් ඔප්පු කරල පෙන්වන්න පුළුවන්.

එතකොට මේ ලෝකයේ කිසිම දෙයක් නිකං හට ගෙන නෑ. ඒ සියල්ලම හේතු ඵලයි. හේතුවක් නැතිව කිසිම ඵලයක් අහේතුකව හට ගන්නෙ නෑ. ඒ කාරණය ලෝක සම්මත විද්‍යාවෙනුත් පිළිගන්නවා. යමකට හේතු පැහැදිලි කරන්න උත්සාහ කිරීම තමයි ඒ සම්මත විද්‍යාවෙන් කරන්නෙත්. එතකොට ලෝකයේ පවතින දේවල් අපට විද්‍යමාන වෙන්නෙ ද්‍රව්‍ය පදාර්ථ හරහා. ඒ ද්‍රව්‍ය පදාර්ථ ඝනීභවනය වුනාම තමයි අපේ මස් ලේ ඇහැට ඒවා ගෝචර වෙන්නෙ. එතකොට ඒවා හැදෙන්න මූලික හේතුව මොකක්ද ? ආපෝ, තේජෝ, වායෝ, පඨවි කියන අපට පේන්න, දැනෙන්න තියෙන ද්‍රව්‍යවලට හේතුව මොකක්ද ? ඒවායේ පදනම මොකක්ද ? ඒවා අපට පේන්නෙ කොහොමද ? ඒක මහ ගැඹුරු කාරණයක්. බුදු දහමේ ඒ පිළිබඳව විග‍්‍රහ කරල තියෙනවා. නමුත් ගැඹුරු වැඩි නිසා තෝර ගන්න බැරි එකයි ගැටළුව වෙලා තියෙන්නෙ. හැබැයි නවීන පරා භෞතික විද්‍යාව හෙවත් අධි භෞතික විද්‍යාවේ එන සමහර න්‍යාය ධර්මයන් තුළින් මේ කාරණා සෑහෙන මට්ටමකට ප‍්‍රායෝගිකව ඔප්පු කරල පෙන්වන්න පුළුවන්.

මනුස්සයින්ගෙ පියවි ඇසට නොපෙනෙන ශක්ති තලයක්, රැස් වළල්ලක් මේ මනුස්ස ශරීරය වටා පිහිටල තියෙන බව දැන් නවීන විද්‍යාවෙනුත් ඔප්පු කරල තියෙනවා. මේ පියවි ඇසට නොපෙනෙන ආලෝක /ශක්ති තල ගැන ගෙදරදි කරල බලන්න පුළුවන් පුංචි පරීක්‍ෂණයකුත් තියෙනවා. රූපවාහිනී යන්ත‍්‍රයක දුරස්ථ පාලකයක් අරගෙන ඒකෙ ඉදිරිපස තියෙන කුඩා විදුලි බුබුල ක‍්‍රියාත්මක කරල බැලූවට ඒ ආලෝකය අපේ මස් ලේ ඇහැට පේන්නෙ නෑ. නමුත් තමන්ගෙ අතේ තියෙන ජංගම දුරකථනයේ කැමරාවෙන් ඒකෙ ඡායා රූපයක් ගත්තොත් ඒ බල්බය දැල්වෙනව දැක බලාගන්න පුළුවන්. ඒ ආලෝකය මස් ලේ ඇහැට ගෝචර නොවුනට සියුම් කැමරා කාචයට ගෝචරයි. ඒ නිසා මස් ලේ ඇහැට නොපෙනෙන සංඛ්‍යාත පරාසවලට අහු වෙන ආලෝකයක් ලෝකයේ තියෙන බව ඔප්පු වෙනවා.

එතකොට මේ මනුස්ස ශරීරයේ හිස සිට දෙපතුල දක්වා පිහිටපු චක‍්‍ර 7 ක් ගැනත් යෝගවලදි පෙන්වනවා. කුණ්ඩලිනී ශක්තිය කියල හඳුන්වන්නෙ ඒ චක‍්‍ර 7 න් අවධි වන ශක්තිය. අද තුන් වන ඇහැ කියල හඳුන්වන්නෙත් ඒ චක‍්‍ර 7 න් නළල ඉදිරිපස පිහිටල තියෙන චක‍්‍රය. ඒ චක‍්‍ර යම් යම් භාවනා ක‍්‍රම මගින් අවධි කරගත්තම මේ ලෝකයේ විශ්මිත දේවල් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ චක‍්‍ර 7 ක් තියෙන බව දැනට ප‍්‍රායෝගිකවත් විද්‍යාවෙන් ඔප්පු කරල තියෙනවා. ඒ වගේම මේකට හොඳ උදාහරණයක් අපේ ජන සමාජයෙත් දකින්න තියෙනවා. උඩරට පළාතේ කාන්තාවන් විවාහ වෙන කොට මැණික් වර්ග ඔබ්බවපු තැලි 7 ක් පළන්දවනවා. ඒ පළඳන්නෙ ඒ චක‍්‍ර 7 පිහිටපු ස්ථානවලට. නමුත් සාම්ප‍්‍රදායිකව එන නිසා කරනව මිසක් ඒකට හේතුව දන්නෙ නෑ. විවාහ වෙන දවස කියන්නෙ කාන්තාවකට වැඩිපුරම ශක්තිය අවශ්‍ය දවසක්. ඒ ශක්තිය ලබාගන්නෙ විශ්වය හරහා. අන්න ඒ විශ්ව ශක්තිය ලබාගන්න ක‍්‍රමයක් තමයි ඒ. හරියට නවග‍්‍රහ අපලවලට නව රත්න මුදු පළඳිනව වගේ. එතකොට ඒ ඒ චක‍්‍රවලට අදාල වෙන වෙනම වර්ණ තියෙනවා. ඒ වර්ණයෙන් ඒ චක‍්‍රය උද්දීපනය කරන විදිහට තමයි අර තැලි 7 හදන්නෙ. එතකොට මේ විදිහට පෙර පටන් සාම්ප‍්‍රදායිකව පැවතිච්ච පැරණි සිරිත්වලටත් හේතුවක් තිබිල තියෙනවා.

ඒ වගේම ඉස්සර හිටපු මිනිස්සු ලෙඩ වුනාම අද වගේ හැම එකකටම බේත් ගන්න වෛද්‍යවරු ළඟට දුව ගෙන ගියේ නෑ. ඒ සඳහා කරපු යම් යම් ශාන්ති කර්ම ආදිය තිබුණා. අදත් දෙහි කැපීම, අත්ත ගහ මැතිරීම, දහ අට සන්නිය, ගරායක් නැටුම, සෙත් කවි කීම … ආදී වශයෙන් එන්නෙ ඒ වගේ ක‍්‍රම. එතැනදිත් අර ඕරා වළල්ල සුද්ද කිරීම තමයි සිද්ධ කරන්නෙ. දෙහි කපල, යම් කිසි ශබ්ද විද්‍යාත්මක කාව්‍යමය රටාවකට කතා කරල මානසිකව බේත් කිරීමක් තමයි මූලික වශයෙන් සිද්ධ කළේ. මොකද හිත තමයි මේ හැම ලෙඩකටම මුල් වෙන්නෙ. ඒ හිතේ වෙනස්වීම අනුව තමයි ශරීරයේ කිරණ වළල්ලේ වෙනස්කම් ඇති වෙන්නෙ. ඒ වගේම ඉස්සර ගම්වල හිටපු වෙද මහත්වරු ලෙඩාගෙ ඇඟට අත තිව්වත් ලෙඩ හොඳ වෙනව කියල කතාවටත් කියනවා. එතකොටත් කිරණ ශරීරයට ප‍්‍රතිකර්ම කිරීමක් තමයි සිද්ධ වෙන්නෙ. ඒ ශක්තිය ගන්න තමයි පැරණි වෙද මහත්වරු නිකං ඉන්න ගමන් නිතර නිතර අල්ල පිරිමැද මැද ඉන්න සිරිතක් තිබුණෙ. ඒ විදිහට පිරි මැදීම නිසා ඝර්ෂණයෙන් අත්ලේ විද්‍යුත් චුම්භක ශක්තියක් නිපදවෙනවා. ඒ ශක්තිය තමයි රෝගියාගේ කිරණ කයට දෙන්නෙ. ඇස් වහ කටවහ වැදීම් ආදියටත් පාවිච්චි කළේ ඔය වගේ පැරණි ක‍්‍රම. ඒ සියල්ලෙන්ම කළේ ඕරා වළල්ල හෙවත් කිරණමය ශරීරය සුද්ධ කිරීම. ඒවායේ අභ්‍යන්තරයේ ඇත්තටම විද්‍යාත්මක ක‍්‍රමයක් තිබුණා. අද එක්තරා මහාචාර්යවරයෙක් ප‍්‍රාණික් හීලිං කියන ලෙඩ සුව කිරීමේ ක‍්‍රමවේදයට පේටන්ට් බලපත‍්‍ර පවා අරගෙන තියෙනවා. ඒකෙන් කරන්නෙත් ඕරා වළල්ල පිරිසිදු කිරීම.

එතකොට මේ කියන කාරණා ත‍්‍රිපිටකයෙත් සඳහන් වෙනවා. නමුත් හරියට තෝර ගන්න බැරිකමයි ගැටළුව වෙලා තියෙන්නෙ. මේ ක‍්‍රමවලදි ලෙඩ ඇති වෙන්න මූලික හේතුව හොයල ඒක නැති කරන එකයි කරන්නෙ. ඒකට මූලික හේතුව තමයි රාග, ද්වේශ, මෝහ හෝ ලෝභ, ද්වේශ, මෝහ හෝ අලෝභ, අද්වේශ, අමෝහ සහිතව ක‍්‍රියා කිරීම. ඒක මනසේ ඇති වන ස්වභාවයක්. ඒ අනුව ඕරා වළල්ලත් සකස් වෙලා ඒ කිරණමය කය හරහා මස් ලේ කයටත් බලපානවා. ඒකෙ අවසන් ප‍්‍රතිඵලය තමයි කිළුටු හෙවත් කළු කිරණ. මේ කළු කිරණ හැදෙන්නෙ නිල්, කහ, රතු කියන වර්ණ 3 ම එකතු වෙලා. එතකොට දැනට ඕරා යන්ත‍්‍ර මගින් මේ පාටවලට අදාල ගති ස්වභාවයන් හඳුනා ගෙන තියෙනවා. ඒ අනුව ලෝභයට කහ පාටත්, ද්වේශයට රතු පාටත්, මෝහයට නිල් පාටත් එන විදිහට තමයි ඕරා වළල්ල මූලික වශයෙන් සකස් වෙන්නෙ. එතකොට ඒ වර්ණ තුනේම සංකලනය ගත්තම එන්නෙ කළු පාට. ඒ කියන්නෙ කිළුටු ගතිය. ඒ කිරණ ශරීරයට විසයි. අලෝභ, අද්වේශ, අමෝහ ගති තුනට එන්නෙ සුදු කිරණ. ඒ කාරණය, අන්තර් ජාලයේ You tube එකට ඇතුල් වෙලා “Auracam 6000” කියන මාතෘකාව යටතේ පරීක්‍ෂා කරල බලන්න පුළුවන්.

(http://www.auraphoto.com/fundementals/interpretation.shtml)

මෙතනදි සූවිසි පට්ඨානයේ සඳහන් වෙන සමනන්තර – අනන්තර ප‍්‍රත්‍යය හෙවත් භෞතික විද්‍යාවේ සඳහන් වෙන අනුනාදය තමයි ක‍්‍රියාත්මක වෙන්නෙ. හැබැයි ඒක එහෙම කිව්වට තේරෙන්නෙ නැති නිසා, අද හැමෝම වගේ දන්න නවීන තාක්‍ෂණයේ දත්ත සම්පේ‍්‍රෂණයට භාවිතා කරන බ්ලූටූත් (Bluetooth) ක‍්‍රමය හරහා පහදන්න පුළුවන්. ඒ ක‍්‍රමයෙදි දත්ත සම්පේ‍්‍රෂණයට රැහැන් යොදා ගන්නෙ නෑ. අභ්‍යවකාශය හරහා තමයි ඒවා විද්‍යුත් චුම්බක තරංග විදිහට එකකින් අනෙකට යන්නෙ. වෙනත් විදිහකට කියනව නම් විද්‍යුත් චුම්භක තරංග, ෆෝටෝන (Photon) හෙවත් ආලෝක අංශු විදිහට. එතකොට රැුහැන් නැතුව බ්ලූටූත් තාක්‍ෂණයෙන් එකකින් අනෙකට දත්ත යන්නෙ කොහොමද ? උදාහරණ විදිහට එක ජංගම දුරකථනයක තියෙන දත්ත තවත් ජංගම දුරකථනයකට ඒ විදිහට සම්පේ‍්‍රෂණය කරන්න පුළුවන්. එතකොට ඒක අපිට ඇහැට පේන්නෙ නෑ. පේන්නෙ නැති වුනාට ඒ දත්ත යනව කියල තේරෙනවා. එතනදි සිද්ධ වෙන්නෙ උපකරණ දෙකේම බ්ලූටූත් තාක්‍ෂණය ක‍්‍රියාත්මක කරල සංඥාව දුන්නම සමාන දේට සමාන දේ ඇදිල ඒමක්. ඒක තමයි ගති ආකර්ශනය කියන්නෙත්. සමනන්තර – අනන්තර ප‍්‍රත්‍යය කියල බුදු දහමෙ හඳුන්වන්නෙත් ඒ කාරණය.

එතකොට මනුස්සයො රාග, ද්වේශ, මෝහ වඩන කොට ඒ ඇති වන කිරණවලින් ශරීරය වටා තියෙන ඕරා වළල්ල කිළුටු වුනාම අර කියපු ගති ආකර්ශනය අනුව බාහිර පරිසරයෙනුත් ඒ ඕරා වළල්ල හරහා කළු කිරණමයි ශරීරයට ඇදිල එන්නෙ. කළු කිරණ කියන්නෙ කිළුටු විස කිරණ නිසා ඒවායින් ශරීරය ලෙඩ කරනවා. ඕරා කෑම් කියන යන්ත‍්‍රයේ සංවේදකයට වම් අත තියල ක‍්‍රියාත්මක කළාම ඒ පුද්ගලයගෙත් ඕරා වළල්ල ඇතුළු චක‍්‍ර 7 ක් ඒ යන්ත‍්‍රයේ පෙන්වනවා. ඒ යන්ත‍්‍රයට පුද්ගලයගෙ ඕරා වළල්ල ග‍්‍රහණය කර ගෙන ඒ අනුව ගති ස්වභාවය කියවන්න පුළුවන්. ඒ වගේම ඒ ඒ චක‍්‍රවල ඒ ඒ මොහොතේ තියෙන ශක්ති ප‍්‍රමාණයත් විවිධ වර්ණවලින් පෙන්වනවා. ඒක පියවි ඇහැට නොපෙනෙන කිරණ වළල්ලක්. නමුත් ඕරා යන්ත‍්‍රය හරහා බලාගන්න පුළුවන්. ඒක මේ වෙන කොටත් තාක්‍ෂණයෙන් දියුණු බටහිර රටවල් පර්යේෂණ කරල හොයා ගත්තු දෙයක්. ලංකාවෙත් කිරුළපන, කොල්ලූපිටිය වගේ ප‍්‍රදේශවල මේ ඕරා යන්ත‍්‍රය මගින් ශරීරය බලන ක‍්‍රම වේදය ක‍්‍රියාත්මක වෙනවා.

එතකොට මේ ඕරා වළල්ලෙ වර්ණත් විවිධ වෙලාවට විවිධාකාරයෙන් වෙනස් වෙනවා. ඒ වර්ණ එහෙම වෙනස් වෙන්නෙ කොහොමද ? පුද්ගලයගෙ ඒ ඒ මොහොතේ පවතින සිතිවිලිවලට අනුව. මොකද සිතිවිලි ගත්තම මොහොතක්වත් එකාකාරීව පවතින්නෙ නෑ. මොහොතක් මොහොතක් පාසා වෙනස් වෙනවා. එතකොට වර්තමාන මොහොතක නැගෙන සිතිවිලි අනුව ඕරා වළල්ලේ වර්ණයත් වෙනස් වෙනවා. හරියට තොරණක් වගේ. තොරණක් ගත්තම කොච්චර නම් වේගයකින් ඒකෙ වර්ණ වෙනස් වෙනවද ? ඒ වගේ විවිධ පුද්ගලයන්ගෙ විවිධ අවස්ථාවල ඇති වන සිතිවිලි අනුව ඒ ඕරා වළල්ලේ වර්ණයත් වෙනස් වෙනවා. ඒ අනුව ඒ ඒ පුද්ගලයන් ඒ ඒ මොහොතෙ ඉන්නෙ මොන වගේ සිතිවිලි දරාගෙනද කියල මේ ඕරා යන්ත‍්‍රයෙන් දැන ගන්නත් පුළුවන්.

දැන් එතකොට මේ ඕරා වළල්ලේ කිරණ වෙනස් කරන්න මූලික වශයෙන් මුල් වෙන්නෙ සිතිවිලි. ඒ වගේම බාහිර ප‍්‍රත්‍යයන් ලබා දීමෙනුත් ඒක වෙනස් කරන්න පුළුවන්. හැබැයි එතනදි වෙන්නෙත් ඒ ලබා දෙන බාහිර ප‍්‍රත්‍යවලින් සිතිවිලි වෙනස් වෙලා ඊට අනුව ඕරා වළල්ල වෙනස්වීම. උදාහරණ විදිහට සංගීතය, බාහිරින් දෙන ආලෝකය වගේ දේවල්වලින් ඒ දේ කරන්න පුළුවන්. එතකොට ඒ බාහිර ප‍්‍රත්‍යය ශරීරයට වැදුනම ඒ හරහා සිතිවිලි වෙනස් වෙලා ඊට අනුව ඕරා වළල්ලත් වෙනස් වෙනවා. අර කලින් කියපු සෙත් ශාන්ති ආදී දේශීය ක‍්‍රමවලින් සිද්ධ වෙන්නෙත් ඒ වගේ දෙයක්.

එතනදි බෞද්ධ ක‍්‍රමවේද විතරක් නෙවෙයි, අනෙක් ආගම්වල එන ගීතිකා ගායනය, යාඥා කිරීම, ස්තෝත‍්‍ර කීම ආදී ක‍්‍රමවලදි සිද්ධ වෙන්නෙත් ඒ වගේ දෙයක්. නමුත් ඒ ඒ ක‍්‍රමවේදවල තියෙන ප‍්‍රබලත්වය අනුව ඒ ඕරා වළල්ල සුද්ධ වීම අඩු වැඩි වෙන්න පුළුවන්. භාවනා වගේ දියුණු ක‍්‍රම මගින් තමන්ට තනියෙන්ම හෝ සංගීතය ආදී බාහිර ප‍්‍රත්‍යයන් යොදා ගෙන හෝ ඒ විදිහට ඕරා වළල්ල වෙනස් කර ගන්නත් පුළුවන්. හැබැයි තමන්ගෙ හිත තමන්ම හදා ගන්නෙ නැතිව බාහිර ප‍්‍රත්‍යයන් මගින් කරන වෙනස් කිරීම් බොහොම තාවකාලිකයි. නමුත් අපේ තිබිච්ච පැරණි දේශීය ක‍්‍රමවල ඊට වඩා උසස් ගුණාත්මක භාවයක් තිබුණා. ඒවා අපට නොතේරෙන නිසා අද වෙන කොට අභාවයට ගිහින්. උදාහරණ විදිහට අපි බෝධි පූජාවක් කරද්දි ආශිර්වාදයක් ගන්න බලාපොරොත්තුවෙන් තමයි ඒක කරන්නෙ. එතකොටත් මේ කියන බාහිරින් එන සුද්ධ කිරණ ශක්තිය තමයි ඕරා වළල්ල හරහා ශරීරයට ඇදිල එන්නෙ. කෙනෙකුට වැන්දමත් ඒ වැඳුම් ලබන පුද්ගලයා අත දික් කරල සුව පත් වේවා කියල කියනවා. ඒ ආශිර්වාද කිරීම කරන්නෙ තරහකින් නෙවෙයි. අලෝභ, අදෝස, අමෝහ කියන සුද්ධ සිතිවිලිවලින්. ඒ සිතිවිලිවලට අදාලව පිට වෙන්නෙත් සුද්ධ කිරණ. ඒක තමයි ඕරා වළල්ලේ ගිහින් පිහිටන්නෙ. ඒකෙන් යහපතක් මිසක් අයහපතක් සිද්ධ වෙන්නෙ නෑ.

මෙන්න මේ වගේ ඕරා වළල්ල හෙවත් කිරණමය කය වෙනස් කරන ක‍්‍රමවේද තමයි මේ බුදු සසුනෙ තියෙන්නෙත්. හැබැයි ඒක නිකං භෞතිකව කරන වෙනස් කිරීමක් නෙවෙයි, සිතිවිලිත් එක්කයි ඒ වෙනස සිද්ධ වෙන්නෙ. බෝධි පූජා, සෙත් කවි, ගාථා ආදියෙන් කරන්නෙත් ඒකයි. එතකොට අර කලින් කියපු බ්ලූටූත් තාක්‍ෂණය හා සමාන ක‍්‍රියාවලියක් තමයි සිද්ධ වෙන්නෙ. රැුහැන් වගේ බාහිර මාධ්‍යයන් හරහා නෙවෙයි ඒ සෙත් කිරණ ගමන් කරන්නෙ. හිස් අවකාශය ඔස්සේ මේ ඕරා වළල්ල හරහා. බුදු දහමේ මේ සියල්ලම සූවිසි පට්ඨානය තුළ විස්තර කරල තියෙනවා. ඒ අනුව ප‍්‍රත්‍ය 24 කින් තමයි මේ සියල්ලම සිද්ධ වෙන්නෙ. ඒක මහ ගැඹුරු විද්‍යාවක්. නමුත් සාමාන්‍ය භෞතික විද්‍යාවට වඩා එහා ගිය පරා භෞතික විද්‍යාව හෙවත් අධි භෞතික විද්‍යාවෙන් ඒ කාරණා යම් තරමකට පහදන්න පුළුවන්. එතනදි බුදු දහමේ නාම රූප කියල විස්තර කරන ගැඹුරු සංකල්පය තමයි විද්‍යුත් චුම්බක තරංග කියල හඳුන්වන්නෙ.

කර්ම ශක්තිය කියන්නෙත් ශක්තියක්. එතකොට ශක්තියක් නම් විද්‍යාවට අනුව කිලෝ ජූල්වලින් මනින්න පුළුවන් වෙන්න ඕන. ඉතින් මේ කාරණය දැන් විද්‍යාවෙන් පවා හොයා ගෙන තියෙනවා. මනසට ගෝචර වෙන නිසාම තමයි ඒවා හොයා ගන්න පුළුවන් වෙලා තියෙන්නෙ. ඒ ගැන විස්තර කළාම අහල අවබෝධ කර ගන්න පුළුවන්. ඥානයට ගෝචරයි. නමුත් මේ භෞතික විද්‍යාවෙ පවා කර්ම ශක්තිය කියන කාරණය පිළිගන්න අය බොහොම අඩුයි. මොකද මෙච්චර කලකට ඔප්පු කරන්න බැරි වෙච්ච නිසා. නමුත් ඒකත් ශක්තියක් නිසා දැන් තියෙන නවීන තාක්‍ෂණයෙන් මේ කර්ම ශක්තිය වැඩ කරන්නෙ කොහොමද කියල ඔප්පු කරල පෙන්වන්න පුළුවන්.

දැන් අපි බෝධි පූජාවක් කරද්දි ගාථා එහෙම කියල යම් කිසි සමනන්තරයක් හෙවත් බාහිර ප‍්‍රත්‍යයක් තමයි හදන්නෙ. අර කියපු බ්ලූටූත් තාක්‍ෂණයෙදි ඒ තාක්‍ෂණික ක‍්‍රමය ක‍්‍රියා විරහිත කරල තිබුනොත් දත්ත සම්ප්‍රේෂණය කරන්න බෑ. ඒ වගේ බෝධි පූජාවක් තියල ඒ සෙත් කිරණ ශක්තිය අපිට ලබාගන්න නම් අපිත් බ්ලූටූත් ක‍්‍රියාත්මක කරනව වගේ යමක් කරන්න ඕන. ඒකට තමයි ගාථා එහෙම කියල මනසේ සිතිවිලි සුද්ධ කර ගෙන ඕරා වළල්ල සකස් කර ගන්නෙ. මොකද අනන්තරයක් ඇදල එන්න නම් සමනන්තරය හරියට තියෙන්න ඕන. ඒ සමනන්තර – අනන්තර ප‍්‍රත්‍යය තමයි මෙතනදි බ්ලූටූත් වගේ ක‍්‍රියාත්මක වෙන්නෙ. ඒකෙන් තමයි බාහිරින් එන සුද්ධ කිරණ ඕරා වළල්ල හරහා ශරීරයට ඇදිල එන්නෙ. ඒ සඳහා තමයි බෝධි පූජා, සෙත් ශාන්ති ආදිය තියන්නෙ.

එතකොට කෙනෙක්ගෙ පෞද්ගලික චරිත ස්වභාවය අනුව ඕරා වළල්ලේ කිරණත් වෙනස් වෙන බව පැහැදිලියි. ඒ කිරණ යම් කිසි තැනකට අරමුණු කරල යවන්නත් පුළුවන්. ඒ නිසා තමයි කෙනෙක් වඳින කොටත් සුවපත් වේවා කියල ඒ පුද්ගලය දිහාවට අත දික් කරල කියන්නෙ. එතකොට ඒ පුද්ගලයගෙ කිරණ අත දිගේ ගිහින්, වඳින කෙනාගෙ ඕරා වළල්ල හරහා ශරීරයට සම්බන්ධ වෙනවා. ඒ කාරණය දැනටමත් ඕරා යන්ත‍්‍රය මගින් ඔප්පු කරල තියෙනවා. ඒ වගේ අවස්ථාවකදි එන සිතිවිලි අලෝභ, අදෝස, අමෝහවලින් පිට කරන නිසා ඒ කිරණ සුද්දයි. එතකොට නිල්, කහ, රතු කිරණ මිශ‍්‍රණයකින් හැදිච්ච කළු ඕරා කිරණ වළල්ලක් තියෙන කෙනෙක්ගෙ ශරීරයට ඒ සුදු කිරණ වැදුනම ඒ පුද්ගලයගෙ ඕරා වළල්ලේ ඒක තැන්පත් වෙලා ඒ අසනීප ගති දුරු වෙන්න හේතු වෙනවා. හරියට ගිනි ගත්තු යකඩයකට සීතල වතුර ගහල නිවනව වගේ. ඒ වතුරවලින් තමයි ගින්න නිවෙන්නෙ. ඒ වගේ රාග, ද්වේශ, මෝහවලින් ගිනි ගෙන රෝගී වෙලා ඉන්න කෙනෙකුට, මග ඵලලාභියෙක් සුවපත් වේවා කියල අත තිව්වොත් වීතරාගී, වීතදෝසී, වීතමෝහී ගුණවලින් නැගෙන සුද්ධ කිරණ තමයි ඒ පුද්ගලයට වදින්නෙ. ඒක අර රත්වෙච්ච යකඩයට වතුර දානවටත් වඩා එහා ගිය ක‍්‍රමයක්.

මේ අනුව පැහැදිලි වෙන කාරණයක් තමයි, පුද්ගලයෙක්ගෙ වර්තමාන මොහොතේ පවතින චේතනාවට අනුව ඕරා වළල්ලේ වර්ණත් වෙනස් වෙන බව. නමුත් ඉහළ මගඵල ලාභීන්ගෙ ඕරා වළල්ල සාමාන්‍ය අයගෙ වගේ එහෙම වෙනස් වෙන්නෙ නෑ. ඒක යම් කිසි විදිහක ස්ථාවර මට්ටමක තියෙනවා. මොකද ඒ අය වීතරාගී, වීතදෝසී, වීතමෝහී ගුණ වඩල ගති නියත කර ගෙන තියෙන නිසා. ඉතින් නියත ගතිවලට අනුව ඒ හරහා සුද්ධ කිරණමයි ඇදිල ඇවිත් ඒ වගේ අයගෙ ඕරා වළල්ලේ පිහිටන්නෙ. බාහිර ලෝකයේ සිදු වන සිදුවීම්වලින් ඒ අයගෙ හිත් සාමාන්‍ය අයගෙ වගේ වෙනස් වෙන්නෙ නැති නිසා, ඕරා වළල්ලත් නිතරම වගේ එකාකාරයි.

එහෙනම් සංක්‍ෂිප්තයක් විදිහට සලකා බැලූවොත්, මිනිස් ඇසට නොපෙනෙන සියුම් ආලෝකයක් තියෙන බවත්, නොපෙනෙන ඕරා වළල්ලක් මනුස්සයින් වටා පිහිටන බවත්, ඒ ඕරාවලට විවිධ වර්ණ තියෙන බවත්, ඒ ඒ වර්ණ චේතනාවන්ට අනුව මොහොතින් මොහොත වෙනස් වන බවත්, ඒ ආලෝකයේ නිර්මාතෘවරයා ස‘තේ චේතනා බවත් මේ අනුව තේරුම් ගන්න පුලූවන්.

අදහස
වලස්මුල්ලේ අභය හිමි
මඩකඩ ආරණ්‍ය සේනාසනය-ඉංගිරිය


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි






1 comment:

  1. Can you provide the link where you have extracted these factors..?

    ReplyDelete

Powered by Blogger.