Header Ads

බල්ලන් ගැන ජ්‍යෝතිෂයෙන් කියවෙන විශ්මිත රහසක් ඔබ මෙය දන්නවනම් පුදුමවෙයි.


බල්ලන් ගැන ජ්‍යෝතිෂයෙන් කියවෙන විශ්මිත රහසක් ඔබ මෙය දන්නවනම් පුදුමවෙයි.
බල්ලා යනු ජ්‍යෝතිෂයට අනුව නීචම සතාය. යමෙක්‌ බල්ලෙකු වී උපදින්නේ පෙර ආත්මභාවවලදී ඔහු අධික මාන්නයෙන් ජීවත්වීම නිසා බවටද ජ්‍යෝතිෂ මතයක්‌ මෙන්ම බ්‍රාහ්මණ ඉගැන්වීමක්‌ද වෙයි. ඒ කෙසේ වෙතත් බල්ලාට මිනිසාත්, මිනිසාට බල්ලාත් නොමැතිව ජීවත්විය හැකි සහ සම්බන්ධයක්‌ මේ දෙදෙනා අතරේම ගොඩනැගී තිබේ. දඩයම් යුගයේ සිට මිනිසා සමග සහසම්බන්ධයෙන් ජීවත්ව බල්ලා අපූරු ඉවක්‌ මෙන්ම අනාගතය දැකීමට හැකි සත්ත්වයකු ලෙස ප්‍රසිද්ධය. බල්ලා පවුලේ ස්‌වාමියාට පණමෙන් ආදරය කරන අතර ඔහුගේ ජීවිතය රැකදීමට තමාගේ ජීවිතය කැපකිරීමට වුව සූදානම්ය. මිනිසා සමඟ ජීවත්වන බල්ලා මිනිසාට එළඹිය හැකි අතුරු අන්තරා පිළිබඳව කල්තියාම අනතුරු අඟවන සත්ත්වයකු වශයෙන් ජ්‍යෝතිෂය තුළ යම් පිළිගැනීමක්‌ පවතී. ගමනක්‌ යැමට සූදානම් වනවිට බල්ලෙකු කන්පට සලා ශබ්ද කරන්නේ නම් එම ගමන මහා අනතුරකි. එසේත් නොමැති නම් එම ගමන යැමෙන් පලක්‌ නොමැති බවට ජ්‍යෝතිෂ මතවාද අනුව විශ්වාසයක්‌ පවතී. නිවස ඉදිරිපස සිටින බල්ලා ස්‌වාමියා දකින විට උගේ පිටිපස්‌ස බිම උලාගෙන නිවස දෙසට රූටන්නේ නම් නිවෙස්‌ හිමියාට බොහෝ ලාභ සත්කාර ලැබෙන බව පොත පතේ සඳහන්ය. බල්ලා රූටන්නේ නිවසට සමාන්තර දෙසට නම් ලැබෙන්නට ඇති යමක්‌ ලැබීම කල්පසුවේ. ස්‌වාමියා ඉදිරියේ බල්ලා පිටුපස බිම උලාගෙන නිවසේ කඩුල්ල දෙසට රූටන්නේ නම් එක්‌දිනක්‌ ගතවීමට පෙර වැදගත් පිරිසක්‌ හෝ ළඟම ඥාතීන් පිරිසක්‌ නිවසට පැමිණෙනු ඇත.

බල්ලාගේ උඩුබිරීම අනුවද අප සමාජයේ ගෙතී ඇති විශ්වාසයන් මෙන්ම සමාන්‍ය මතද ජ්‍යෝතිෂ මත ද රාශියකි. උඩුබුරන බල්ලා තනිවම උඩුබුරන්නේ පසළොස්‌වක පොහොය දිනයකදී නම් ඒ බල්ලාට ඇති තනිකම නිසාය. රංචු ලැදියාව සොයා යැම පිණිසත්, රංචුවේ තවත් අයකුට පැමිණීමට ආරාධනය කිරීම සඳහාත් බල්ලා එසේ කරයි.

බල්ලා උඩුබුරන්නේ පසළොස්‌වක පොහොය හමාරවී දින හතක්‌ ඉක්‌ම ගොස්‌ අමාවක පොහොය දිනයට පෙර නම්ද, බල්ලා උඩුබුරන්නේ නිවස දෙස බලා ගෙන නොවන්නේ නම්ද නිවසේ අයට සම්බන්ධයක්‌ නැති නමුත් නිවස අසල අයකුගේ හදිසි මරණයක්‌ ඉන් වනිත වේ.

අමාවක පොහොය දිනයේ හෝ ඊට පෙර හෝ පසු දිනයේ බල්ලකු නිවස දෙස බලාගෙන රාත්‍රි 11 ත් අලුයම 4 ත් අතර කාලයේදී තුන්වරකට වඩා උඩුබිරුවේ නම් නිවසේ අයෙකුගේ මරණය නියතය. බල්ලා නොනවත්වාම එක දිගට උඩුබිරුවේ නම් මිය යන්නේ නිවෙස්‌ හිමියාය. කඩින් කඩ උඩුබිරුවේ නම් මිය යන්නේ භාර්යාවය. උඩු බුරුමින් නිවස වටා ගියේ නම් මිය යන්නේ නිවසේ සිටින වෙනත් සාමාජිකයෝය.

අමාවක පොහොය ආසන්නයේ හෝ එම කාලයේදී බල්ලකු නිවසේ කඩුල්ල පැනගොස්‌ ඒ ඉදිරියේ සිට උඩුබුරන්නේ නම් නිවසේ පදිංචි නැති එහෙත් නිවසේ සාමාජිකයන්ගේ ළඟම ඥාතියකු මිය යයි. බල්ලාගේ උඩුබිරීම දිනය, නැකත, වේලාව, හඬ, ආකාරය, ඉරියව්ව යන කරුණු කාරණා සමග වෙනස්‌ වන බව සැලකිල්ලට ගත යුතුය.

බල්ලෙකු නිවසේ කලක්‌ ජීවත්වී එම නිවස අතහැර ගොස්‌ නිවෙස්‌ හිමියාට නිතර නිතර දකින්නට ලැබෙන පරිද්දෙන් වෙනත් නිවසක ලගින්නේ නම් එම ලක්‍ෂණයෙන් පෙන්නුම් කරන්නේ එම නිවසේ සැප සම්පත් අඩුවන බවකි. එමෙන්ම ඒ නිවසේ උදවියට බොහෝ කරදර ළඟාවන බව පෙන්නුම් කරන්නකි. එහෙත් නිවස හැර ගිය බල්ලාගේ වලිගයේ අග කෙළවර සුදු නම් මේ නිමිත්ත බැහැර කළ යුතුවේ. මන්ද වලිගයේ අග කොටස සුදු බල්ලා ජීවිතය පුරාවටම ගෘහමූලිකයාගේ නිවසේ වාසය නොකරයි. ඌ නිවස හැරයැමේ ලක්‍ෂණය වන්නේ වලිගය අග සුදුවීමයි.

ඇස්‌හතරේ බල්ලන්ට වඩා ඇස්‌ හතරේ බැල්ලියන් නිවසට වාසනාවන්තය. කලු බැල්ලියකගේ බොරු ඇස්‌ දෙක කහපාට නම් ඒ බැල්ලිය නිසා නිවසට බොහෝ සැප සම්පත් ලැබේ. නිය විස්‌සක්‌ ඇති බල්ලා සැර බල්ලකු මිස නිවසකට යස ඉසුරු කැන්දන බල්ලකු නොවේ. නමුත් නිය විස්‌සක්‌ ඇති බැල්ලියක්‌ සිටින නිවසේ කිසි දිනක කිසිදු අගහිඟයක්‌ ඇති නොවේ.

ඔබ නිවසේ බල්ලකු හෝ බැල්ලියක ඇති කරන්නේ නම් ප්‍රධාන උලුවස්‌සට දකුණු පසට වන්නට කොළ පැහැති බැලතණ පඳුරක්‌ සිටුවන්න. බල්ලන්ගේ සියලු රෝගවලට එය ඔසුවක්‌ වන අතර බල්ලා බැලතණ පඳුර සමඟ සෙල්ලම් කරන සෑම අවස්‌ථාවකම නිවසේ සිරියාව පිරී ඉතිරී පවතී. මෙම පඳුර කිසි විටකත් ඊතණ පඳුරක්‌ නොවිය යුතුය.

ඇති කිරීමට බල්ලකු තෝරා ගන්නා විට බල්ලාගේ වර්ණය ගැනද ඔබ සැලකිලිමත් විය යුතුය. ඔබේ ලග්නයට අනුව ඇති වර්ණයට බල්ලාගේ වර්ණය ගැලපෙන්නේද යන්න ගැන ඔබ සැලකිලිමත් විය යුතුය. එමෙන්ම බල්ලාගේ ඇති වර්ණ සංඛ්‍යාවද සැලකිල්ලට ගත යුතුය. බල්ලා තනි වර්ණයක නම් ජ්‍යෝතිෂ මතයට අනුව ඌ බලු ආත්මයක උපදින අවසන් වතාව එම ආත්මය පමණක්‌ වේ. වර්ණ සංඛ්‍යාවට අනුව උගේ ඊළඟ බලු ආත්ම ගණන තීරණය වෙයි. තනි වර්ණයක්‌ ඇති බල්ලකුට හොඳින් සලකන්නේ නම් උගේ බලු ආත්මය මේ ආත්මයෙන් කෙළවර වන නිසා ඔබට ලැබෙන ආනිශංස ඉතා ඉමහත්ය.

බල්ලකු වුවත් ඌට ආහාර දීමේදී බිමට ආහාර දැමීමෙන් වැළකී සිටින්න. එම ක්‍රියාව ඔබේ ආත්මයට පව් තව තවත් එකතුකර ගැනීමකි. නමුත් කෙසෙල් කොලයක බල්ලාට කෑම දීමෙන්ද ඔබ වැළකිය යුතුය. ඊට හේතුව ඔබ බල්ලාත් දෙවියාටත් එකසේ සැලකීමට යැමකි. බල්ලන්ට අඟුලු කරවල සමඟ එළවලු හත අටක කෑම පිස බලු දානයක්‌ වශයෙන් සෙනසුරාදා දිනවලට දීමට හැකිනම් එම ක්‍රියාව සෙනසුරු අපල මගහැරීමට බෙහෙවින් උපකාර වෙයි.

බල්ලන් කූඩුවල දමා ඇති කිරීමද දම්වැල්වලින් සදාකාලිකව ගැට ගසා සෑදීමද ඔබට පව් පිරෙන ක්‍රියාවකි. එමෙන්ම බල්ලන් වන්ධ්‍යාකරණය කිරීමට ඔබ මැදිහත් විය යුතු නොවේ. මහමග සංසර්ගයේ යෙදෙන බල්ලන්ට ඔබ බාධා කිරීම මතු ආත්මවලදී ඔබට විවාහ සැප අඩුවීමට හේතුවක්‌ වන්නේය.

ඇතැමුන්ට බල්ලා සුරතලෙකි. තවත් සමහරුන්ට ආරක්‌ෂකයෙකි. බල්ලන් ලවා දඩයම් කරගන්නා පිරිස්‌ද සිටිති. නමුත් ඇතැම් බල්ලන්ට මනුෂ්‍යයන්ට වඩා කළගුණ සැළකීමේ ගුණය ඇති බව අමතක නොකරන්න. එමෙන්ම ඔබ බල්ලෙකු ඇති කිරීමට ගොස්‌ ඔබේ තත්ත්වය බල්ලෙකුගේ තත්ත්වයට ඇද දමා නොගෙන බල්ලා ඇති කිරීමද තරමක්‌ දැනගෙන කළ යුතු ක්‍රියාවකි.

ජ්‍යෝතිෂවේදී
දිනසේන රතුගමගේ



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

 

No comments:

Powered by Blogger.