Header Ads

දළදා මාළිගාව ගැන මේ දේවල් ඔබ අසා තිබුණද?


දළදා මාළිගාව ගැන මේ දේවල් ඔබ අසා තිබුණද?




දළදා මාලිගය බෞද්ධයින්ගේ මුදුන්මල්කඩයි. ජීවිතයේ එක් වතාවක් හෝ දළදා වැඳපුදා නොගත් බෞද්ධ සැදැහැවතකු නැති තරම්. එහෙත් දළදා මාලිගය ගැන අප නොදන්නා දෑ බොහෝවෙයි. මේ ඒ පිළිබඳව ලියැවෙන්නකි.

සෙංකඩගල රජ මාලිගයේ සී මැදුරු කවුළුවෙන් සක්මන් මළුව දෙස බලා සිටින්නේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ අග මෙහෙසිය ප්‍රමිලාවයි. ප්‍රංශ ජාතික සෙනෙවි දස්කොන් ඉක්මන් ගමනින් පිටත්ව යන්නේ රාජ උදහසට ලක්වයි. එදා ප්‍රමිලාවන් බලා උන් ශ්‍රී යහන් කවුළුව අදද සෙංකඩගල දළදා මාළිගයේ දක්නට ලැබෙයි..

කලක් දළදා කරඬුව වැඩම කරවූ රාජා හස්තියා තැන්පත් කර ඇත්තේ පැරැණි රජ වාසල් ගොඩනැඟිල්ලෙහි ය. එහි ඉහළ මාලයට පිවිසි විට මේ සිරියහන් කවුළුව දක්නට ලැබෙයි. එහි සිට දළදා මාලිගය දෙස බලන ඕනෑම කෙනෙකුට පත්තිරුප්පුව ඇතුළු දළදා මාලිගය මැනවින් දර්ශනය වේ. එපමණක් නොව නුවරවැව මෙන් ම අවට කඳු වැටි ද මැනවින් දැකගත හැකියි.

පියගැට පෙළ නැඟ දළදා මාලිගයට පිවිසෙන වන්දනා කරුවන් ඉන් අනතුරුව පිවිසෙන්නේ බිංගෙයක්” වැනි පිවිසුම් මඟකටයි. අඹරාව නම් වූ එම ස්ථානය පසු කල පසු හමුවන්නේ හේවිසි මණ්ඩපයයි. තේවාවන් අතර හේවිසි වාදනය කරනුයේ මෙහි ය.

මෙම හේවිසි මණ්ඩපය ඉදිරිපිට ඇත්තේ පරණ දළදා මාලිගා ගොඩනැගිල්ල ය. වැඩ සිටින මාලිගාව ලෙස හඳුන්වන මෙහි ඇතුළුවීමට අවසර ඇත්තේ මුල් ලිපියෙන් කී පරිදි තේවාව සිදුකරන හාමුදුරුවරුනට හා ඊට රාජකාරිමය වශයෙන් සහභාගි වන පිරිසට පමණි. හේවිසි මණ්ඩපයේ වම් පස ඇති පඩි පෙළ නගින විට හමුවන්නේ ‘දාගැබ් වහන්සේයි’ එහි බුදුන් වහන්සේගේ පාත්‍රා ධාතූන් නිදන්කර ඇතැයි විශ්වාසයක් පවතියි.

හේවිසි මණ්ඩපයට ඇතුළුවී දකුණු පසට හැරුණු විට ද පඩිපෙළක් හමුවෙයි. ඉන් නැග යද්දී මුලින් ම හමුවන්නේ ‘පල්ලෙ මාලෙ’ නම් ස්ථානයි. මෙය දළදා මාලිගයේ ඇති එක් බුදු මැදුරකි. ඉපැරැණි කැටයමින් යුතු සඳකඩ පහනකින් අලංකාර වූ පඩි පෙළකින් යුතු මෙම බුදු මැදුරට පිවිසීමේ මඟ සකස්කර තිබේ.

දේවේන්ද්‍ර මුලාචාර්යවරයාගේ ගෘහ නිර්මාණශිල්පයට අනුව මෙම ස්ථානය සාදා ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුයි. දළදා මැදුරේ සිතුවම් කර ඇතැයි ප්‍රසිද්ධියට පත් පත්ම වන්දන ගාථාව ඇත්තේ මෙම පල්ලෙ මාලේ ප්‍රධාන දොරටුව ළඟ බිත්තියේ පහළ කොටසෙහි ය. පල්ලේ මාලයේ රාජකාරි සියල්ල සිදු කෙරෙන්නේ ස්වාමීන් වහන්සේ නමකගේ මූලිකත්වයෙනි. මෙම ස්ථානයේ රන් පිළිම වහන්සේ නමක් මෙන් ම, කරඬුවක් ඇතුළේ පළිඟු පිළිමයත් තැන්පත්කර තිබේ. මේ කරඬුව ඓතිහාසික වැදගත්කමින් යුතුයි.

දෙල්ගමු රජමහා විහාරයේ සඟවා තිබූ දළදා වහන්සේ විමලධර්මසූරිය රජතුමා විසින් රජවාසලට වැඩම්මවා ඇත්තේ මෙම කරඬුවෙහි බහා ය. පත්තිරුප්පුව දළදා මාලිගයේ ඇති සුවිශේෂී ස්ථානයකි.

අතීතයේ රජු මහජනතාව ඇමතීම හා ඇහුන්කන්දීම සිදුකර ඇත්තේ මෙම ස්ථානයෙහි සිට ය. මුලින් විස්තර කළ සිරිමැදුරු කවුළුවෙන් බලන විට පත්තිරුප්පුව මැනවින් දර්ශනය වනවා සේ ම රජු ඒ රජ වාසලේ සිට පත්තිරුප්පුවට පිවිසිය හැකි බිංගෙයක් ද තිබී ඇත. මෙම බිංගෙයි සිට පැමිණි පත්තිරුප්පුවට ප්‍රවේශවූ පඬිපෙළක් අද ද පත්තිරුප්පුවේ වම් කෙළවරෙහි දක්නට ලැබේ.

එම පියගැට පෙළ ලීයෙන් තැනූ දොරටුවකින් වසා තිබේ. වත්මනෙහි දළදා මාලිගයේ පොත්ගුල පිහිටා ඇත්තේ මෙම පත්තිරුප්පුව ඇතුළත ය. දළදා මාලිගාවේ තේවාවන් බාරව කටයුතු කරන ස්වාමීන් වහන්සේ නමක් මෙම ස්ථානයෙහි ද නිරතුරුව කටයුතු කරයි. වැඩහිඳින මාලිගයේ තේවාවන්ට සම්බන්ධවන ස්වාමීන් වහන්සේ තිදෙනෙක් නිරතුරුව ම කටයුතු කරති. පල්ලෙමාලේත්, පත්තිරුප්පුවේත් කටයුතු ඉටු කරන ස්වාමීන් වහන්සේ දෙනමක් සමඟ දළදා මාලිගයේ නිතිපතා ස්වාමීන් වහන්සේ පස් නමක් වැඩ වෙසෙති.

ඇතුළු විය යුත්තේ හඳුන් කූඩම නමින් හඳුන්වන ආලින්දය පසු කරමිනි. දළදා වහන්සේ වැඩ සිටින්නේ වැඩ හිඳින මාලිගයේ උඩු මහලෙහි ඇති ‘ගඳ කිළිය’ නමින් හඳුන්වන ස්ථානයෙහිය. හඳුන් කූඩ මෙන් ඇතුළු වූවිට මෙම ස්ථානයට පිවිසෙයි. මෙහි එක් පසෙක ‘කත් තියන බරාදෙ’ පිහිටා තිබේ තේවාව ගෙන එන ‘හේම කත්’ තබන්නේ මෙහි ය. ගෙපලුටි බරාදෙ පිහිටා ඇත්තේ කුටියේ වම් පසය. තේවාවට අවශ්‍ය බඩු භාණ්ඩ මෙන් ම කවිකාර මඩුවට අවශ්‍ය තූර්ය භාණ්ඩ මෙහි තැන්පත් කර තිබේ. මෙහි භාරකරු ‘ගෙපලුටි රාලයි’.

වැඩහිඳින කුටියට පිටුපස හළු බරාදේ පිහිටා ඇත. දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට පැමිණි රජුගේ ඇතැම් සළු අභරණ ගලවා මෙහි තබා ඇතැයි කියවේ.

හඳුන්කූඩමෙන් ඇතුළු වූවිට රන් එළිපත්තක් ඇති දෙරටුවක් පසු කළ යුතුයි. ඒ එළිපත්ත පැනීමට අවසර ඇත්තේ තේවා භාර ස්වාමීන් වහන්ස්ට පමණි. මහරජ්ජුරුවන්ට වුව එතැනින් ඔබ්බට යෑමට අවසර නැති බවයි කියැවෙන්නේ. රජතුමා මේ එළිපත්ත මත තම ඔටුන්න ගලවා තබා දළදා වහන්සේට වැදුම් පිදුම් කළ නිසා වර්තමානයේ ද කිසිවෙකුට මෙම එළිපත්ත පැනීමට අවසර නැත. එසේ ම එම ස්ථානයේ දණ නමා වන්දනා කිරීමට කිසිවෙකුට අවසර තැත්තේ රජු වැදුම් පිදුම් කළේ එම ස්ථානයේ වීම නිසයි.

දළදා මාලිගයේ ඇති වටිනාම කරඬුව දළදා කරඬුවයි. දළදා වහන්සේ තැන්පත් කර තිබෙන්නේ කරඬු හතකින් ආවරණය කොටයි.

පළමු වන කරඬුව විශාල ය. එහි රන් මාල, ආභරණ පලදවා තිබේ. මැණික් ඔබ්බවන ලද ආභරණ දළදා වහන්සේට පූජා කරන ලද ඒවායි.

විමල ධර්මසූරිය රජු විසින් පූජා කර ඇති මෙම පළමු කරඬුව විශාල බරකින් යුතු බව පැවසේ. පළමු කරඬුව ඉවත් කළ පසු හමුවන දෙවැනි කරඬුව ඇතුළත වටිනා කෞතුක වස්තු රාශිය තැන්පත් කර ඇතැයි සඳහන් වේ. ඒ අතර රන්පත් සමූහයක් තැන්පත් ව තිබේ. ඒවායේ ධම්මචක්ක පවත්වන සූත්‍රය පාතිමොක්ඛය වැනි ධර්ම පාඨ ඇතුළත් වේ. එය බුරුම රටින් පරිත්‍යාග කරන ලද්දකි.

තුන්වැනි කරඬුවට ඉවත් කළ විට හමුවන්නේ රනින් කළ හතර වැනි කරඬුවයි. එහි ඔබ්බවා ඇති ඉතා වටිනා ගල් බව ද සඳහන් වේ. එම කරඬුව ඉවත් කිරීමට නම් මල්වතු මහා විහාරයේ මහ නාහිමි වඩම්මවා ගත යුතු වෙයි. එහි යතුර ඇත්තේ උන්වහන්සේ ළඟ. ‘මල්වතු කරඬුව‘ ඉවත් කළ පසු හමුවන පස් වැනි කරඬුව ඇහැලේපොල මහ අධිකාරම් විසින් පූජා කරන ලද්දක් බව සඳහන් වෙයි. මෙහි යතුර ඇත්තේ අස්ගිරි මහ නාහිමි බාරයේයි. අස්ගිරි කරඬුව ලෙස ද එය හඳුන්වයි. මින් පසුව හමුවන හයවන කරඬුව අසල හේමමාලා සහ දන්ත කුමරු දළඳා වහන්සේ වඩම්මවා ගෙන ආ කරඬුව ද තැන්පත්කර තිබේ.

හත්වැනි කරඬුව අඟල් හතරක් පමණ උඩු කරඬුවකි. බුරුම රටින් පූජා කරන ලද්දක් වන එහි දළදා වහන්සේ තැන්පත් කර තිබේ. මෙම කරඬුවලට වම් පසින් පෙරහර කරඬුව තැන්පත් කර තිබෙනු දක්නට ලැබෙයි. පසුගියදා මහ පෙරහරේ නැඳුන්ගමුවේ රාජා ඇතා විසින් වඩම්ම වනු ලැබුවේ මෙම කරඬුවයි. 1953 වසරේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් දළදා පෙරහර වෙනුවෙන් පූජා කරන ලද මෙම කරඬුව වටා අලංකාර කිරීමට යොදාගෙන ඇත්තේ ඒ රජුගේ අගමෙහෙසියගේ මාල පලඳනාවයි.

දළදා මාලිගයට අයත් ස්ථාන අතර මාලිගා භූමිය ඇතුළත මෙන් ම මහනුවර නගරයේ සහ මධ්‍යම පළාත පුරා පැතිරුණු ස්ථාන බොහොමයක් ම වෙයි.

නුවර වැව ආසන්නයේ ම පිහිටා ඇත්තේ රජුගේ ‘උල්පැන්ගෙයයි’ රජු ස්නාන කටයුතු කර ඇත්තේ මෙහියි. එකල එය භාරව රාජකාරි කර ඇත්තේ ‘දියවඩන නිලමේ’ තුමායි. නුවර වැව අද්දර අදද ඒ උල්පැන්ගෙය වෙයි.

වත්මනෙහි දළදා සමිඳුන්ගේ ගිහි භාරකරුවාවන්නේ දියවඩන නිලමේ තුමායි. වර්තමානයෙහි එම ධූරය දරනුයේ නිලංග දෑල මහතායි. දියවඩන නිලමෙගේ කාර්යාලයෙන් පිට වූ පසු නැවතත් පිවිසෙන්නේ හේවිසි මණ්ඩපය වෙතයි. මාලිගාවෙන් පිටවීමට නම් නැවතත් අඹරාව දිගේ විත් පියගැට පෙළ බැසිය යුතුයි. එහි අවසානයේ ඇති යකඩ ගේට්ටුව පසුකර ගිය විට නැවතත් දිය අගල හමුවෙයි.

දිය අගලෙහි පොරි කමින් මාළු තරගයක යෙදී සිටිති. වාළුකා බැම්ම මත නෙක් පැහැ පරවියන් ලැසිගමනින් ඇවිද යන්නේ සොඳුරු දසුනක් මවමිනි.

බුද්ධිකා බ්‍රාහ්මණගේ

 අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments:

Powered by Blogger.